එන්නත් දෙන කොළඹ ‘VIP සෙන්ටර්’ ගැන බීබීසී ය හෙළි කරයි…

දේශපාලකයන්ටත් ඔවුන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ටත් පමණයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කොළඹ ස්ථාන කීපයක ප්‍රභූන් (VIP) සඳහා වෙන් වූ එන්නත් මධ්‍යස්ථාන ගැන තොරතුරු ද බීබීසී සිංහල සේවය වාර්තා කරයි.
මෙම එන්නත් මධ්‍යස්ථාන දේශපාලකයන්ටත්, ඔවුන්ගේ ඥාතීන්ටත්, හිතවත් ප්‍රභූ වරුන්ටත් වෙන් වී ඇතැයි එම වාර්තාව හෙළිදරවු කරයි.
විද්‍යාත්මකව පිළිගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ එන්නත්කරණ වැඩපිළිවෙළ දේශපාලන බලපෑම් මත වෙනස් වූ ආකාරය මින් පෙර අවස්ථාවලදී සෞඛ්‍ය අංශවල බරපතල සංවාදයට ලක් විය. ඒ සියලු අත්දැකීම් සහිතව බී.බී.සී සිංහල සේවයට අදහස් දැක්වූ හෙදියක් පවසා ඇත්තේ තමන් මේ අශීලාචාර ක්‍රියාවලිය සම්බන්ධව ඉතාම දැඩි ලෙස කලකිරී ඇති බවය.
“මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා.”
සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළ ප්‍රභූ එන්නත් මධ්‍යස්ථානයක හෙදියක් එසේ කියා තිබිණි.
දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනි සිදුවීම් සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා කීවේය.
ප්‍රමුඛතා කණ්ඩායමට අයත් වූයේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් වන නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව එම සංගමය පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ සියලුම වෙනස්වීම් සිදුවූයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උවමනාවට නොව දේශපාලන අවශ්‍යතාවයක් මත බව ලංකාසරට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවේය.

Exit mobile version