එන්නත් කළත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් ගොදුරු වීම ඇරඹිලා….  සෞඛ්‍ය අංශ කියයි

එන්නත්කරණය මුලින්ම ආවරණය කළේ සෞඛ්‍ය අංශයන්ය. අතිශය බහුතරයක් එන්නතේ මුල් මාත්‍රාව ලබාගෙන සිටිති. එහෙත්  සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කොරෝනා වයිරසයට ගොදුරු වීමේ ප්‍රවනාතාවය වැඩි වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හෝමාගම රෝහලේ හෙදියන් 3 සහ හෙදපාලිකාවක්, කොළඹ ජාතික රෝහලේ හෙදියන් 7, මුල්ලෙරියාව රෝහලේ හෙදියන් 2, මාතර රෝහලේ හෙදියන් 3 ද සොයිසා කාන්තා රෝහලේ හෙදියන් 3යි, කාසල් රෝහලේ හෙදියන් 4ක ඇතුළු ප්‍රාදේශීය රෝහල්වල සැලකිය යුතු පිරිසක් හෙද කාර්ය මණ්ඩලවල ආසාදිත වී සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය කියන්නේ මේ වනවිට දිවයින පුරා වෛද්‍යවරුන් 25 දෙනෙක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගනිමින් සිටින බවය.


මේ බොහෝ දෙනෙකුට  ප්‍රතිකාර ලබා දීම සඳහා කිසිදු ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඉඩනොමැති වීම හේතුවෙන් ඔවුන් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර ඇත.  හෝමාගම රෝහලේ හෙදියන් නිවෙස් තුළ නිරෝධායනය වන්නේ එම රෝහලේ කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා වාට්ටු තුනක් වසා දමා ඇති පසුබිමක බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා නගයි. සෑම රෝහලකම තත්වය මෙසේය.   

මේ කොවිඩ් ආසාදන අවදානම ඇතිවීමට ප්‍රධාන හේතුවක් තිබේ. 

කොවිඩ් පළමු හා දෙව රැල්ලේදී රෝගියාට දුර සිට ප්‍රතිකාර ලබාදීමට ප්‍රතිකාර නියම කිරිමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකිවිය. එහෙත් තුන්වන කොවිඩ් රැල්ල තුළ ආසාදනයට ලක්ව රෝගීන් රෝහල් ගත වන්නේම හුස්ම ගැනීමේ දැඩි අපහසුව සහිතවය. මෙසේ හුස්ම ගැනීමට නොහැකිව පැමිණෙන රෝගීන්ට හුස්ම ගැනීමට උදව් කිරීම හා ඊට අවශ්‍ය ඔක්සිජන් සපයා දීම රෝහල් කාර්ය මණ්ඩලයේ කාර්යයකි.  ඒ අනුව ඔවුන්ට වෙනදා මෙන් එනම් කොවිඩ් පළමු හා දෙවන රැල්ලේදී  මෙන් රෝගියාට දුර සිට ප්‍රතිකාර ලබා  දීමට හැකියාවක් නොමැත. මෙවන් අවස්ථාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතා රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වන්නේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්  දින 14ක් නිරෝධායනය විය යුතුය. ගැටලුව ඇත්තේ එතැනය. පවතින තත්වය කළමනාකරණය කරගැනීමට තරම් කාර්ය මණ්ඩල හිඟයක් සහිත වටපිටාවක  වෛද්‍ය කාර්ය මණ්ඩල ආසාදන රැල්ලක් ඇතිවුවහොත් ඇති විය හැකි තත්වය බිහිසුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙමින් ඇත.

Exit mobile version