“එන්නත්කරණයයි දැන් ආහාර සැපයුමයි හරියට වෙන්නේ හමුදාව නිසා”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියයි

රට තුළ එන්නත්කරණය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමටත් මේ වනවිට ආහාර බෙදාහැරීම ක්‍රමානුකූලව කරගෙන යාමටත් හැකියාව ලැබී ඇත්තේ හමුදාව ඊට යෙදවීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‍මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ මෙරට තුළ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හා එමගින් හමුදාවට එම කටයුතු සඳහා ද පුළුල් ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවට මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිචෙල් බැචලේගේ වාර්ෂික වාර්තාව ඔස්සේ විරෝධය මතුවී තිබෙන පසුබිමක දී ය.

මේ අතර රටේ ඉහළ තනතුරුවල දිගින් දිගටම මේ දිනවල ඉල්ලා අස්වීම් සිදුවනුයේ ‘ඒ ඒ නිලදාරීන්ගේ පෞද්ගලික හේතූන් සහ අනෙකුත් රටේ පොදු අවශ්‍යතාවයන් එක්ක’ බව ද හෙතෙම කීය.


රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු මේ වනවිට ඉල්ලා අස්වන්නේ ඇයිද යන්න පිළිබද මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

“සමහර අය පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස් වුණා. ඒකට නිදහස තියෙනවා. ඒ වගේම සමහර අය ඒ තනතුරුවල කටයුතු කිරීම තුළ යම් විදියකට අවශ්‍ය විදියට කටයුතු සිද්ධ වුණේ නැත්නම් අතිගරු ජනාධිපතිතුමාට කියන්න පුළුවන් තවත් කෙනෙක් පත්කරන්න අවස්ථාව දෙන්න කියලා. අපේ ආණ්ඩුව මේ සැරේ තනතුරු පත්කළේ විශේෂ ක්‍රමයකට. හිතවත්කම් මතට වඩා විශේෂ සුදුසුකම් ඔක්කොම බලලා. හැබැයි යම් කෙනෙක්, ඒවා සීයට සීයක්ම අපට බලන්න බෑනේ. යම් කෙනෙක්ගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඔහුගේ වැඩපිළිවෙල සාර්ථක කරන්න බැරි තැනකට පත් වුණොත් ඔහුට අයින් වෙන්න වෙනවා වෙන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උදාහරණයක් විදියට හිටපු මහබැංකු අධිපතිතුමා අවුරුදු දෙකක් විතර මේ කටයුත්ත කළා. නමුත් රටේ තාමත් ලොකු අර්බුදයක් තිබෙනවා. අපි කවුරුත් පිළිගන්නවා නේ ඒක. ඉතින් අර්බුදය විසඳන්න එතුමාට නොහැකි තත්ත්වය තුළ, අනෙක එතුමා කොහොමත් අවුරුදු අසූවක් වෙන තැන ඉවත් වෙන්න ඕන කියලා එතුමා පුද්ගලිකව හිතලා තියෙනවා. අනෙක රටේ විපක්ෂයේ ප්‍රධාන වශයෙන් කිව්වා වයසක කෙනෙක් මහලු කෙනෙක් ද දාගෙන මේක කරන්න බෑ කියලා. ඒ නිසා මේ තත්ත්වය තුළ එතුමා ඉවත්වීම මම හිතන්නේ ප්‍රායෝගිකව ඉතාම වැදගත් සහ විශේෂයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා ඉතාම පළපුරුදු දක්ෂ වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එතුමා මේ ආර්ථික අර්බුදය ගොඩගන්න යම්කිසි සතුටුදායක තත්ත්වයකට ගෙන ඒවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි යම් යම් අය ඔවුන්ගේ පෞද්ගලික සහ අනෙකුත් රටේ පොදු අවශ්‍යතාවයන් එක්ක ඉවත්වීම් සිද්ධවෙන්නේ” යැයි ද ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version