ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා උසස් රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳපොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා ඇතැම් අවස්ථාවල රෝගීන් ජීවිතක්ෂයට පත්වන බව වෛද්‍ය විශේෂඥයෝ චෝදනා කරති.
ඩේලිමිරර් වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා තිබුණේ වැඩි වශයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය නියාමනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.
“රටට එන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතනය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් සිදුවෙමින් පවතින්නේ ඖෂධවල ප්‍රමිතිය රෝගීන් හරහා පරීක්ෂා කිරීම බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන පරිදි මරණ සහ සංකූලතා ඇති විය හැකි බවත් වෛද්‍ය අලුත්ගේ සඳහන් කරයි.
“සුදුසු ආයතනයක් සමඟ සහයෝගයෙන් තත්ත්ව සහතික රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු,” ඔහු වැඩිදුරටත් කියා තිබේ.
හදිසි මිලදී ගැනීම් යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් රට තුළට ඇතුළු වී තිබීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව වෛද්‍ය අලුත්ගේ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න ඩේලි මිරර් වෙත පවසා තිබුණේ “රට කුමක් වුවත් ඖෂධ ඇගයීම සහ වැඩිදියුණු කිරීමේ ස්වාධීන යාන්ත්‍රණයක් පවතින බවයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) නියමිත ක්‍රියාවලිය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව වෛද්‍යවරුන් සහ ජනතාව අතර දැඩි විශ්වාසය කඩ වීමක් සිදුව ඇති බව සභාපතිවරයා කියා තිබේ.
“හදිසි පදනමක් මත නිශ්චිත ඖෂධ ආනයනය කිරීමට පහසුකම් සලසන ලියාපදිංචිය අත්හැරීම (WOR) මගින් ඖෂධ කිහිපයක් ආනයනය කරන බව අපි දකිමු. කෙසේ වෙතත්, NMRA එම ක්රියාවලියද උල්ලංඝනය කර ඇති අතර, ඇතැම් ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇති කරන බවද ඔහු තර්ක කර තිබේ.
“මේ ආකාරයට ඖෂධ නියාමන යාන්ත්‍රණය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව පෙනී යන අතර එම ඖෂධ පිළිබඳ හොඳ පරීක්ෂණයක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විග්‍රහයක් වහා සිදු කළ යුතු බව වෛද්‍ය ආරියරත්න වැඩිදුරටත් පවසා තිබේ.