උසස් පෙළ දරුවන්ට අඛණ්ඩව විදුලිය දෙන්න මහජන උපයෝගීතා කොමිසම ජනතා සහාය පතයි…

විභාග කාලය තුළදී අඛණ්ඩව විදුලිය සැපයීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට කළ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විභාග කාලය තුළදී පැය 24 පුරා විදුලිය ලබාදීමට නොහැකි වී ඇති බව මහ ජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දන්වයි.

එම නිවේදනයට අනුව විභාග පැවත්වෙන කාල සීමාව තුළදී සෑම දිනකම විභාගය අවසන් වු පසු සවස් කාලයේ හා රාත්‍රිකාලයේ දී අවස්ථා දෙකකදි විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව විභාගය අවසන් වු පැයේ සිට සවස 6 දක්වා විනාඩි 40ක් ද සවස 6 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළදී පැයයි විනාඩි 20ක කාලයක් සඳහා ද  විදුලි කප්පාදුවක් සදහා අවසර දී තිබේ.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සදහා විදුලි පරිභෝජනය අඩුකර සහාය වන්නැයි ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී’


නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම කියන්නේ විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුළදී ද විදුලිය අඛණ්ඩව සැපයීම සදහා විදුලි ඉල්ලුම කළමණාකරනය කීරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇති බවය.

එම වැඩසටහන මගින් සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේ දී විදුලි ඉල්ලුම අඩුකර මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගැනීමට ඉලක්ක කෙරේ. එම විදුලි ධාරිතාවය ඉතිරි කරගැනීම මගින් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුලදී ද විදුලිය අඛණ්ඩව සැපයීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

පහත සදහන් ක්‍රියාමාර්ග ගෙන විදුලි ඉල්ලුම අඩුකර විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සීටීම සදහා කැපකීරීමක් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව, රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.

1. ගෘහස්ත අංශය-සියලු පාරිභෝගිකයින්ට සවස 6ත් රාත්‍රි 9ත් අතර කාලයේදී සිය ඉල්ලුම සියයට 50කින් අඩුකර විදුලි ඉල්ලුම කළමණාකරණයට සහාය විය හැකි ය.

2. පුද්ගලික ආයතන-සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේදී සිය ප්‍රදර්ශන පුවරු (බිල් බෝඩ්ස්) හා නාම පුවරු හා ප්‍රදර්ශනාගාර වල විදුලි පහන් නිවා දමා සහාය විය හැකිය.

3. පළාත් පාලන ආයතන ඇතුළු වීථි ලාම්පු කළමනාකාරණය කරන ආයතන විසින් සව 6ත් රාත්‍රි 10ක් අතර කාලයේදී වීථි ලාම්පු නිවා දැමීම

4. ජෙනරේටර් හා බැටරි සතු විදුලි පාරිභෝගිකයින් විසින් සවස 7ත් රාත්‍රි 10ත් අතර කාලයේදී ජෙනරේටර් හා බැටරි වලින් විදුලිය සපයා ගැනීම කළ හැකියි.

ඉහත සිව් වැදෑරුම් විදුලි සංරක්ෂණ වැඩසටහනට දායක වී විදුලිය පරිභෝජනය අඩු කළහොත් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා රාත්‍රිකාලයේදී ද විදුලිය සැපයීමට හැකිවන පරිද්දෙන් මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගත හැකි වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට උසස් පෙළ විභාගය පැවත්වෙන කාලය තුළ දී කප්පාදුවකින් තොරව විදුලිය සැපයෙන බවත්,  ඒ අනුව විභාගය පැවත්වෙන සෑම දිනකම විභාගය අවසන් වන පැයෙන් පසුව විදුලි විසන්ධි කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇති බවත් එම කොමිසම නිවේදනය කරයි.

Exit mobile version