උපන් රටට යා ගත නොහැකිව ඉන්න සංක්‍රමණික කම්කරුවන්ගේ දුක ජගත් සංවිධානයටත් දැනෙයි

ගෝලීය වසංගත තත්වය හමුවේ රැඳවුම් කඳවුරුවල අතරමංව සිටින සංක්‍රමණික කම්කරුවන් වෙසෙන අමානුෂික තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ආරක්ෂිතව තම මව් රටවල් වෙත යැවීමට කඩිනම් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කම්කරුවන්ගේ කමිටුව අද රටවල්වල රජයන්ගෙන් ඉල්ලා තිබේ.

“වැඩි වශයෙන් අප්‍රිකානු සහ දකුණු ආසියානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් කොරෝනා වෛරසය පපතුරුවන බවට නිරන්තරයෙන් පලිගැනීමට ලක්වෙයි. රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන අතර රෝගී වූ අයට චෝදනා කරමින් රැඳවුම් කඳවුරුවල සෑම දිනකම අයුතු ලෙස සැලකීම හා වධහිංසා පැමිණවීම පිළිබඳ වාර්තා තිබේ. සමහරු මියයෑමට අතහැර දමා සිටිති.” යැයි කමිටුවේ ස්වාධීන විශේෂඥයෝ පවසති.

සංක්‍රමණික කම්කරුවන්ගේ, විශේෂයෙන් සෞදි අරාබිය සහ යේමනය ඇතුළු ගල්ෆ් රටවල සහ ලිබියාව වැනි උතුරු අප්‍රිකානු රටවල රඳවා සිටින අයගේ තත්වය පිළිබඳව කමිටුව දැඩි අවධානය යොමු කර තිබේ.


සැප්තැම්බර් මස මුලදී ප්‍රධාන මාධ්‍ය වාර්තා කළේ අප්‍රිකානු සංක්‍රමණික ශ්‍රමිකයන් දහස් ගණනක් සෞදි අරාබියේ ඇහිරුණු, අපිරිසිදු කඳවුරුවල රඳවා ඇති බවයි.

රඳවාගෙන සිටින සංක්‍රමණික කම්කරුවන් නිදාගෙන සිටින අතරතුර අපද්‍රව්‍ය බිම පුරා විසිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ, ඡායාරූප ආදිය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගත යුතු කම්පන සහගත තත්ත්වයන්ට සාක්ෂි සැපයූ බව කමිටුව අවධාරණය කළේය.

“COVID-19 වසංගතය මේ වන විට ලොව පුරා රටවල් දුර්වල කරමින් ඇත. බොහෝ රටවල මරණ සංඛ්‍යාව ඉහළ යමින්, සෞඛ්‍ය පද්ධති අභියෝගයට ලක්ව ඇති අතර විරැකියා අනුපාතය පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමක පවතී. 1918 සිට සිදු වූ වඩාත්ම බරපතළම සෞඛ්‍ය ව්‍යසනය පාලනය කිරීම සඳහා රජයන් උපරිම උත්සාහයක් දරන අතර, මෙම වසංගතය නිසා පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් නොමැති සංක්‍රමණික කම්කරුවන් ප්‍රදේශවාසීන්ට වඩා බෙහෙවින් අවදානමට ලක්වන බව රජයන් දැන සිටිය යුතුය.” යැයි කමිටුව පැවසීය.

COVID-19 වසංගතය දිගටම පවතින බැවින් කමිටුව අවධාරණය කළේ, “සංක්‍රමණිකයින්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය වහාම නතර කළ යුතු බව වෙන කවරදාටත් වඩා වැදගත් ය.” බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් කෙරෙහි COVID-19 වසංගතයේ බලපෑම පිළිබඳ ඒකාබද්ධ මාර්ගෝපදේශ සටහන මෙහිදී කමිටුව සිහිපත් කළේය. “සියලු සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් දැඩි ලෙස ආරක්ෂා කරන ලෙසත්, අතරමං වූ සංක්‍රමණිකයන් තම මව් රටවලට විධිමත්, ආරක්ෂිත හා ගෞරවනීය ලෙස නොපමාව නැවත යැවීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ සම්භවය ඇති රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් අපි සත්කාරක හා සංක්‍රමණ රටවල රජයන්ගෙන් ඉල්ලා සිටිමු.”

Exit mobile version