උදේ අත් අඩංගුවට ගත් සන්නස්ගල හවස ඇප මත නිදහස් වුනේ කොහොමද?

SANSGALA

බීබීසී –

සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අප්‍රේල් 25 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පස්වරුවේ ඇප මත මුදා හැරිණි.

වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝග කළේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙස ය‍.

අදාළ මුදල හිමිකරුට ගෙවා තිබුණා

නුවන් ප්‍රදීප් නමැති කඳාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා බව පවසමින් ලබා ගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ ව්‍යාපාරිනකයා පැමිණිල්ල් ඉදිරිපත් කර තිබුණේ, කඳාන පොලිසියට ය.


කඳාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ආපසු ගෙවීමේ පොරොන්දුවක් මත උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇති බවත්, එම මුදල නියමිත දිනයේදී ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවත් කඳාන පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ අතර, උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබූ බව ය.

අධිකරණයෙන් කඳාන පොලිසියට දෝෂාරෝපණයක්!

කෙසේ වෙතත්, පසුව උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුට අදාළ මුදල ගෙවූ බව නීතිඥවරු අධිකරණය හමුවේ තහවුරු කළහ.

ඊට අදාළ රිසිට් පත් ද උසාවියට ඉදිරිපත් කළ නීතීඥවරුන් අධිකරණය හමුවේ පැවසුවේ, මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද, ඔවුන් එය නොසලකා උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ බව ය.

ඒ අනුව, දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

අප කළ විමසුමකදී කඳාන පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ මුදල පැමිණිලිකරුගේ බැංකු ගිණුමකට බැර කර තිබූ බව පසුව දැනගත් බව ය.

මේ අතර, මැයි මස 26 වන දා මේ සම්බන්ධයෙන් අවසන් නඩු වාරය කැඳවා ඇතැයි ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැති අතර, අප්‍රේල් 25 වන දා ෆේස්බුක් ඔස්සේ සජීවීව පෙනී සිටියද එහිදී ඔහු නඩු කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදු කළේ නැත.

Exit mobile version