උතුරේ ජනතාවට තිබෙන්නෙත් දකුණේ ජනතාවටම ඇති ගැටලු මිස 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ගැටලු නෙවෙයි-අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමි

උතුරේ ජනතාවට ඇත්තේ ද දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී පොදු අවශ්‍යතා පිළිබඳ ගැටලු මිස දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවත් මෙම යථාර්ථය රටේ දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු රජය විසින් අප රටට බලහත්කාරයෙන් ලබා දුන්නක් මිස මේ රටේ ජනතා අවශ්‍යතාව උදෙසා ස්ථාපිත කළ එකක් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් නාරංපනාවේ ආනන්ද නාහිමියන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එදා වත්මන් අගමැතිවරයා ප්‍රමුඛ විපක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ මෙන්ම විවිධ ජාතික සංවිධාන ක්‍රියා කළ ආකාරය අද බොහෝ දෙනාට අමතක වී ඇත. අන්තවාදී උතුරේ දේශපාලන පක්ෂ නියෝජනය කරන ඇතැම් උදවිය සහ අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට විනා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට අවශ්‍යතාවයක් නැත. මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව එදා වීදි බැස සටන් කළ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අද මුනිවත රැකීමෙන් ඔවුන්ගේ දේශපාලන අවස්ථාවාදීතවයේ නිරුවත මනාව ප්‍රදර්ශනය කර ඇත.

තවද පොදුජන එක්සත් පෙරමුණට මේ රටේ බලය ලබා දුන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොව මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර රට සමෘද්ධිමත් කිරීමටයි. එකී ජන වරමෙන් රටේ බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිතිති ධූරයෙන් ඉවත්වීමෙන් පසු බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයාට තර්ටීන් ප්ලිස් ක්‍රියාත්මක කිරීමට කිසිදු නෛතිකභාවයක් හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත. පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය දරන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය මතය ප්‍රකාශ කළ යුත්තේ තම ජනවරම පිළිබඳ සිහියේ තබාගෙන මිස ඊට පටහැනිව නොවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එපමණක් නොව මේ වන විටත් උතුරු නැගෙනහිර සිංහල ජනතාවට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳ කිසිවෙක් කතා නොකරයි. නැගෙනහිර පළාතේ බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් අනුමත කළ විහාරස්ථානවල පවා ඉදිකිරීම් නවත්වන ලෙස එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ බලපෑම් මත නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති අයුරු පසුගිය දා දක්නට ලැබිණි. එවන් පසුබිමක් තුළ 13+ ක්‍රියාත්මක කළහොත් සිදුවන තත්ත්වය කටත් කිසිදු අපහසුවකින් තොරව තේරම් ගැනීමට පුළුවන.

Exit mobile version