ඉන්සියුලින් එන දවසක් නෑ… අර්බුදයට හේතුව NMRA කියයි!

insulin

ශ්‍රියානි විජේසිංහ –                                              

රජයේ රෝහල්වෙත ඉන්සියුලින් නැවත එන දින  කිව නොහැකි   බව  සෞඛ්‍ය අමාත්‍යංශය  ආරංචි මාර්ග සඳහන්  කරයි.

මෙරට ලියාපදිංචි සමාගමකින් ඉන්සියුලින් ඇනවුම් කළද එය ලබා දීම දිගින් දිගටම ප්‍රමාද  කිරීම හේතුවෙන් මෙම ගැටලුව මූලිකව නිර්මාණය වී ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන්නේ    මෙරට ඖෂධ නියාමන අධිකාරියේ  ලියාපදිංචි නොමැති නමුත්  ජාත්‍යන්තරව  පිලිගත් සමාගමකින්  ඖෂධ හදිසි මිලදී ගැනීමකි.

එසේ වුව ද මේ අවස්ථාවේ දී  ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව අධිකාරියේ ලියාපදිංචියක් නැති සමාගමකින් ඉන්සියුලින් හදිසි මිලදී ගැනීමක් සඳහා අනුමැතිය ලබා දී‌  නැත.


මේ පිළිබඳව අමාත්‍යාංශය පවසන්නේ   මේ වනවිට  ඉන්සියුලින් හිඟය අතිශය උග්‍ර වී ඇති බවත්,  ලොව පුරා ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම සදහා ඇත්තේ සමාගම් අතලොස්සක් බැවින් ඔවුන් විශාල  ඇනවුම්  සපුරා ලීමෙන් පසුව කුඩා ප්‍රමාණයන්ගේ  ඇනවුම්  සැපයීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය නිසා අප වැනි රටවල ඖෂධ ඇනවුම් ප්‍රමාද වන බවය.

මෙවැනි දුෂ්කර අවස්ථාවක ලියාපදිංචිය පිළිබඳව නොසලකා ජාත්‍යාන්තරව පිළිගත් සමාගමකින් හදිසි ඖෂධ මිලදී ගැනීමක්  සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළේය.

එහෙත් මේ සම්බන්ධව ඖෂධ නියාමන අධිකාරියේ  පවසන්නේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව මෙම හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබා නොදුන්නේ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් බවය.

පළමු කාරණාව වන්නේ මෙම ඖෂධ සැපයීමේ  ටෙන්ඩරය භාරගත් සමාගමට මින් පෙර  ශ්‍රී ලංකාව වශයෙන් ලබා ගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැර හැර ඇති නිසා මේ තත්ත්වය මුලින්ම උද්ගත වී ඇති බවය.

එවැනි ටෙන්ඩරයක් ලබා ගත් සමාගමක්   තමන්ට ලබා දුන් ටෙන්ඩරය යටතේ ඇති ඖෂධ ප්‍රමාණය මෙන් වැඩිපුර සියයට පනහක් අවශ්‍ය වෙලාවට ලබා දීමට එකඟ වන බැවින් ගැටලුව ඇත්තේ මෙම මිලදී ගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැර හැර තිබීම බව එම කමිටුවේ ආරංචි මාර්ග පවසන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඖෂධ හිඟය බරපතල වන්නට හැර හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමට උත්සාහ කරන්නේ ටෙන්ඩරය ලබා ගත් ඖෂධ සමාගමට ඇති පෙර ගෙවීම් පැහැර හැර තිබියදී වීමත් ඉන්සියුලින් ගෙනීවීම සඳහා සමාගම් 04ක් ලියාපදිංචි වී ඇති අවස්ථාවක ලියාපදිංචිය නොගත් සමාගමකින් පවතින තත්ත්වය දඩමීමා කරගෙන වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිරන්තරව සිදුවන  තත්ත්වයක් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග කියයි.

Exit mobile version