ඉන්දියාවෙන් ගෙන්වන නයිට්‍රිජන් දියර පොහොර ගැන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කතා කරයි…

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් ලෙස නම් කර ඇති සුවිශේෂී දියර පොහොර වර්ගය ගෙන ඒම ස්ථිර බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා   පවසයි.

නැනෝ තාක්ෂණයෙන් සමන්විත මෙම පොහොර වර්ගය සෙසු පොහොර වර්ග වලට වඩා දහස් ගුණයක් පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය  වැඩි කරමින් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවත් ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් බැවින් කෙටි කාලයකදී බලාපොරොත්තුවන ප්‍රතිඵල ළඟා කරගත හැකි බවත් හෙතෙම කීය.

කාබනික ප්‍රවාහයන් ඔස්සේ නිෂ්පාදිත බවට අදාළ සමාගම ප්‍රකාශ කොට ඇති මෙම නැනො නයිට්‍රිජන් සුවිශේෂී වන්නේ ලෝකයේ පොහොර වර්ගීකරණය ට අනුව උසස් ගණයට අයත් වන නිසා බව ඔහු කියයි.


කඩිනමින් පොහොර ලබාදිය යුතු ගොවි ප්‍රජාවක් සිටින බැවින් පොහොර තොගයක් ගුවන් මගින් රැගෙන විත් අම්පාර ගොවි ජනතාවට බෙදා දීමටත් ඉතිරි පොහොර තොගය නැව් මගින් ගෙන්වා ගොවි ජනතාව අතර බෙදා දීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

පොහොර නැතැයි කනස්සල්ලට පත්ව  වී වගාවෙන් ඉවත් වීමට සිදු වනවා යැයි හඬ නගන ගොවිජනතාවට මෙ ඔස්සේ පිළියම් ලැබෙන බව ද කිසිදු ගැටලුවක් නොමැතිව වගා කටයුතු නිසි පරිදි කර ගෙන යාමට ඉන් ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

අදාළ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සම්බන්ධයෙන් ඉකුත් කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් ලංකාවේ සින්ටෙක් ආයතනය සමග එක්වී පරීක්ෂණ කළ බවත් නැනෝ නයිට්‍රිජන් නිෂ්පාදනය සඳහා අත්හදාබැලීම් සිදු කළ බවත් ඔහු පැවසුවේය.

ඊට අදාලව බතලේගොඩ පර්යේෂණායතනය ඔස්සේ වී වගාවට යොදවා සාර්ථක ප්‍රතිඵල නෙලා ගත් බව ද හෙතෙම කීය.

දැනට නැනෝ නයිට්‍රිජන් නිෂ්පාදනය සිදු කරනු ලබන ඉන්දියාවේ අදාල සමාගම 2019 වසරේදි  පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති අතර ඔවුන් සමග එක්ව ලංකාව තුළ නැනෝ නයිට්‍රිජන් නිෂ්පාදනය කළ හැකි දැයි යන්න ඉදිරියේ දී සලකා බලන බව ද අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පැවසීය.

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සම්බන්ධයෙන් පර්යේෂණ මට්ටමින් කටයුතු කරනු ලබන කෘෂි විද්වතුන් ප්‍රකාශකොට සිටින්නේ ඉන්දියාවේ අදාළ සමාගමේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් ඉන්දියාවේ ගොවි ජනතාව සිය වගාවට යොදනු ලබන්නේ යූරියා සමග බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැනෝ නයිට්‍රිජන් සීයට පනහක් සහ යූරියා 50% යොදමින් ඉන්දියාවේ වගාව සිදුකරන බවද එවිට සාර්ථක ප්‍රතිඵල හෙවත් සාර්ථක අස්වැන්නක් හිමිවන බවට ඔවුහු පර්යේෂණ මගින් සනාථ කොට ගෙන ඇති බව ද විද්වත්හු පෙන්වා දෙති.

 

Exit mobile version