ඉතිහාසයේ සටහනක් පමණක් තබා ගෝල්ෆේස් අරගලකරුවෝ අරගල භූමිය අත්හරිති!

බඩගින්න එතැනමය. දූෂිත ක්‍රමය නොවෙනස්ය... වෙනත් වටයකින් අරගලය අරඹන බව අරගලකරුවෝ කියති!

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සලකුණක් තැබූ ගාළුමුවදොර අරගලය ඉතිහාසයට එක් කරමින් අරගලකරුවෝ ඊයේ (09) ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීම නිවේදනය කළහ.

ගාලු මුවදොර අරගලය භූමියේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට අද (10) අද දිනය දක්වා කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් පසුගියදා අධිකරණයට දන්වා තිබිණි.

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ සුබවාදී ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තුවෙන් සහ රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ගොඩනැගුන දේශපාලන විරෝධයත්, රටේ පැන නැගුණ බිහිසුණු ආර්ථික පීඩනයක් ප්‍රකාශ වූ සංකේතය වූයේ ගාලු මුවදොර විරෝධතාවය ය. අතිශයින්ම නිර්මාණශීලී හා  ප්‍රගතිගාමී දේශපාලන යථාර්ථයන් මතුකරමින් ගොඩනැගුන අරගල භූමිය ආණ්ඩුවේ දේශපාලකයින් දක්වන ප්‍රචණ්ඩත්වයක් දක්වා තල්ලු කර දැම්මේ පසුගිය මැයි 09 දා එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොහොට්ටු මැරයින‍් විසින් කළ මුග්ධ පහරදීමත් සමගිනි.

මැයි 09 ප්‍රහාරය…

ගෝල්ෆේස් අරගල භූමියට පහර දීම මිනිස්සුන්ගේ සාමුහික විරෝධය මර්ධනය කිරීම සඳහා දියත් කළ බිහිසුණු ප්‍රකාශනයක් වූයේය. එයට පිළිතුරු ලැබුනේ  පුපුරා ගිය කෝපය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වීමෙනි.


පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙන් තවමත් ඇසෙන අරගලය “හයිජැක් කිරීම“ පිළිබඳ අදේශපාලනික කතාව ඔවුන් ජනතා බලය සහ ජනතාවගේ ජීවිත පීඩනය සම්බන්ධව  පැවති කාලකණ්ණි ආකල්පයේ ප්‍රකාශනයක් බව තවමත් පිළිගෙන නැත.

මැයි 09 රාත්‍රිය

පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයා පලා යෑම, මුදුන්පත් වනු ඇතැයි සිතූ එම ජන අරගලයේ ප්‍රාර්ථනාව සිහිනයෙනුදු නොසිතූ ලෙස ව්‍යාකූල කර හෑල්ලු කර දමා රටට වෙනසක් සිදුවන්නට ගිය තීරණාත්මක මොහොත ව්‍යවස්ථානුකූලව   හයිජැක්  කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වී පොහොට්ටුවේ නායකයා ලෙස පොහොට්ටුවේ ප්‍රතික්ෂේපිත දේශපාලන ව්‍යාපෘතිය නව වටයකින් ඇරඹීම මේ වනවිට සිදුවෙමින් තිබේ.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයේ දී හිස් ගෙඩි මිලදී ගෙන බලයට පත් වූ ආකාරය සම්බන්ධ ලජ‍්ජා සහගත තොරතුරු මේ වනවිට පාර්ලිමේන්තුව තුළම කියැවෙමින් ඇත.  එසේ නම් එයත් මේ රටේ කුජීත දූෂිත ඡන්දවලින් එකකි.  මේ කියැවෙන්නේ ව්‍යවස්ථා රාමුවට ආවරණය වී ජනතා ප්‍රාර්ථනාව දූෂණය කළ ඇති බවය.

අරගලකරුවන් නික්ම යෑම නිවේදනය කරන්නේ රට අපේක්ෂිත කිසිම ගැටලුවක් නොවිසඳී ගෝඨාභය රාජපක්ෂ ධූරය අතහැර තාවකාලිකව රටෙන් පිටත්වීම පමණක් සිදුවී තිබිය දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරගල කරුවන් ප්‍රකාශ කර තිබුනේ අත්හැර යන්නේ ගෝල්ෆේස් භූමිය මිස අරගලය නොවන බවය. අරගල භූමිය හැර යන්නට කලින් අරගලය වෙනුවෙන් දිවි පිදූවන් වෙනුවෙන් ඔවුහු පහන් දැල්වූහ.

Exit mobile version