ඉතිරි ටිකත් නාමල්ටම දෙන්න… රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් ජනපතිට ලිපියක්

namal-cabral

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන් වෙත පවරා ඇති විෂයයට අදාළ වගකීම්වලින් සැලකිය යුතු කොටසක් පසුගියදා පිහිටුවන ලද නව කැබිනට් අමාත්‍ය ධුරය වන සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍යංශය යටතට පත් කර ඇති බැවින් එම අමාත්‍යංශයේ කටයුතු තවදුරටත් කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා තමන් වෙත ඉතිරි කර ඇති සෙසු වගකීම්ද එම අමාත්‍යංශයටම පවරන ලෙස මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ  රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්   ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තමන් මෙතෙක් දරන ලද මෙම වගකීම්  නව කැබිනට් අමාත්‍යවරයා වෙත සාර්ථක ව සහ කාර්යක්ෂමව සිදු කිරීමට නම් විද්‍යානකූලව මෙම ඉතිරි වගකීම්ද නව අමාත්‍යවරයා වෙත ම භාර දිය යුතු බව ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

පසුගියදා සිදු කෙරුණු විෂය සංශෝධනයට අනුව සංවර්ධන සම්බන්ධිකරණ සහ අධීක්ෂණ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂය.


ඔහුට පැවරෙන නව අමාත්‍යංශ  විෂය පථය යටතේ මෙරට සංවර්ධනයට සම්බන්ධ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යාපෘතිවල සිට මෙරට දැනට සැලසුම් කර ඇති සහ සිදුවෙමින් පවතින මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක අධීක්ෂණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයට අදාල රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම රාජ්‍ය සම්පත් ජාතික අයවැය, රාජ්‍ය ආයෝජනවලට අදාල වගකීම් ද මේ වනවිට පවරා ඇත්තේ නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරය වෙතය .

මහින්ද රාජපක්ෂ රජයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව අත්දැකීම් සහිත පළපුරුදු වෘත්තිකයකු ලෙස පිළිගැනෙන රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ට ප්‍රාග්ධන වෙළෙඳපොල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළද ඔහුට මෙම විෂය පථයට අදාල විය යුතු ආයතන රාමුව පවරා නොමැති වීම ද වෘත්තිකයන් අතර කතා බහට ලක් වූ කරුණකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර  කබ්රාල් අමාත්‍යවරයා සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය තුළ මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවය.

Exit mobile version