ඇල්කොහොලයිසර් බැලුන්වලින් කෝටි ගණන් ගහන්න ගිය පොලිස් ලොක්කාගේ පරීක්ෂණය සී.අයි.ඩීයට….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බීමත්ව රිය පදවන රියදුරන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර ගැනීමට යොදා ගන්නා ඇල්කොලයිසර් නැමැති පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ කටයුත්තේ දී තාක්ෂණික කමිටුව නියෝජනය කරමින් රුපියල් කෝටි ගණනක වංචාවක් කරන්නට ගිය උසස් නිලධාරියා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇතැයි වාර්තා වේ.

රියදුරන් විසින් බැලුම් යැයි සාමාන්‍ය වහරේ සඳහන් එම පරීක්ෂණ නල 10 ක කට්ටලයක් මිල නියම වන්නේ රුපියල් 3500 ක් හෝ ඒ ආසන්න මිලකටය.

එහෙත් මෙම පරීක්ෂණ කට්ටලවල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කර බැලීමට සිටින පොලිස් කමිටුවේ ප්‍රධානියෙක් එක්තරා සමාගමක් සඳහා මෙම පරීක්ෂණ කට්ටල ගෙන්වීමට ටෙන්ඩරය ලබා සඳහා එක් පරීක්ෂණ කට්ටලයකින් රුපියල් දහස බැගින් අල්ලසක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී මෙවැනි පරීක්ෂණ කට්ටල් පනස් දහසත් හැත්තෑපන් දහසත් අතර ප්‍රමාණයක් වර්ෂයට දෙවරක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් මිලදී ගන්නා බව පොලිස් රථවාහන අංශයේ තොරතුරු සඳහන් කළේය.

සිදුවන්නට ගිය කෝටි ගණනක මුදල් වංචාව සම්බන්ධව පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබුණු පසු පොලිස්පති අනින් එම විමර්ශනය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාසරට පැවසුවේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.


Exit mobile version