ඇමරිකාව චීන “ඔත්තු බැලුනය” මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම දමයි… දෙවැනි චීන ඔත්තු බැලූනයක් ගැනත් චෝදනා…

ඇමරිකාව පුරා පිහිටි ප්‍රධාන හමුදා ස්ථාන පිළිබඳ ඔත්තු බැලූ බව පවසන යෝධ චීන බැලූනය ඇමරිකාව විසින් බිම හෙළා තිබේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළින් බැලූනය බිම හෙළූ බවය.

චීනයේ විදේශ අමාත්‍යාංශය පසුව ප්‍රකාශ කළේ සිවිල් මිනිසුන් රහිත ගුවන් යානාවලට පහර දීමට එක්සත් ජනපදයේ බලය යෙදවීමට එරෙහිව දැඩි අතෘප්තිය සහ විරෝධය පල කරන බවය.

කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය එක්සත් ජනපද රූපවාහිනී ජාලවල දර්ශනවල දැක්වේ.
F-22 ජෙට් ප්‍රහාරක යානයක මිසයිල ප්‍රහාරයක් මගින් එක්සත් ජනපද වෙරළට නාවික සැතපුම් හයක් පමණ දුරින් බැලුනය පුපුරවා හැරිය බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.


ආරක්ෂක නිලධාරීන් එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසුවේ බැලුනයේ සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ – ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා නොගැඹුරු – අඩි 47 (මීටර් 14) ක ජලයට ගොඩ බැස ඇති බවය.
සැතපුම් හතක් (කිලෝමීටර් 11ක්) පුරා පැතිරී ඇති බැලුනයේ සුන්බුන් සොයා ගැනීමට හමුදාව දැන් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ සඳහා සඳහා බර දොඹකරයක් ඇතුළු නාවික නෞකා දෙකක් ප්‍රදේශය තුළ යොදවා ඇත.

බ්‍රහස්පතින්දා ආරක්ෂක නිලධාරීන් එම බැලුනය නිරීක්ෂණය කරන බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ දා සිට එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට බැලූනය බිම හෙළීම සඳහා බලපෑම් එල්ල වූ බව විදෙස් මාධ්‍ය කියයි.

බැලූනයට බිම හෙළීමෙන් පසු ජනාධිපතිවරයා පැවසුවේ “ඔවුන් එය සාර්ථකව බිම හෙළා තිබෙනවා… එම මෙහෙයුමේ නිරත වූ අපගේ ගුවන් යානාවලට ප්‍රශංසා කිරීමට මට අවශ්‍යයි” යනුවෙනි.

බැලුනය බිම හෙළා පැය කිහිපයකට පසු ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ මෙම ගුවන් නෞකාව සිවිල් භාවිතය යෙදවූ එකක් බව තහවුරු කළ බවය. එය දෝෂයක් හේතුවෙන් පාලනයෙන් මිදී එක්සත් ජනපද ගුවන් සීමාව වෙත ගමන් කළ බවත් එය මුලුමනින්ම කාර්මික දෝෂයක් නිසා සිදුවූවක් බවත් චීන පාර්ශවය එක්සත් ජනපදයට නැවත නැවතත් දැන්වූ බවය.

කෙසේ වෙතත් බැලූනය සොයා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට තුඩු දී ඇති අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ “වගකීම් විරහිත ක්‍රියාව” හේතුවෙන් මෙම සති අන්තයේ චීන සංචාරය වහාම නතර කර ඇත.
“ජාතික ආරක්ෂක ප්‍රයත්නයක්” හේතුවෙන් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සෙනසුරාදා දහවල් දකුණු කැරොලිනා වෙරළ අවට ගුවන් තොටුපල තුනක සියලුම සිවිල් ගුවන් ගමන් නවත්වා මෙම මෙහෙයුම සිදු කර තිබිණි.

බැලුනය බිම හෙළීම සඳහා එය ගොඩබිම් ප්‍රදේශයෙන් ඉවත්ව මුහුදට ගමන් කරන තුරු ආරක්ෂක අංශ බලා සිට ඇත. “සැලකිය යුතු අනතුරක් ඇති” මිලිටරි මෙහෙයුම් හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස වෙරළාරක්ෂක නිලධාරීන් නාවිකයින්ට උපදෙස් දුන්නේය.

වෙරළ තීරයේ ඇසින් දුටු සාක්ෂිකාරියක් වන හේලි වෝල්ෂ් බීබීසී පුවත් සේවයට පැවසුවේ මිසයිලය විදීමට පෙර ප්‍රහාරක ජෙට් යානා තුනක් කැරකෙමින් සිටිනු තමා දුටු බවය. එවිට “අපිට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණා, නිවස දෙදරුම් කෑවා”. ඇය පැවසුවාය.

ආරක්ෂක නිලධාරීන් සෙනසුරාදා අනාවරණය කළේ බැලූනය ජනවාරි  28 වන දින එක්සත් ජනපද ගුවන් සීමාවට ඇතුළු වූ අතර දින තුනකට පසුව කැනේඩියානු ගුවන් සීමාවට ගොස් ජනවාරි 31 වන දින නැවත එක්සත් ජනපදයට ඇතුළු වූ බවයි. සංවේදී න්‍යෂ්ටික මිසයිල ස්ථාන රැසකට නිවහන වන එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ මෙම වස්තුව නිරීක්ෂණය විය.

සිකුරාදා, පෙන්ටගනය පැවසුවේ දෙවන චීන ඔත්තු බැලූනයක් දැක ඇති බවය.  මෙවර ලතින් ඇමරිකාව හරහා කොස්ටාරිකාව සහ වෙනිසියුලාව හරහා වාර්තා වී ඇති බව ප්‍රකාශ  විය.

වාර්තා වූ දෙවන බැලූනය සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිදු ප්‍රසිද්ධියක් ප්‍රකාශ කර නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බීබීසී – 

Exit mobile version