ඇමති නාමල්ගේ මාමණ්ඩිත් ආණ්ඩුව ගේන  අලුත් සංචාරක පනතට විරුද්ධයි!

රජය විසින් නුදුරේදී ගෙන එන්නට උත්සාහ දරන නව සංචාරක පනතට මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සංවිධාන සහ නායකයන් රැසක් විරෝධය පළ කර ඇති අතර මෙම විරෝධය පළ කරන ප්‍රමුඛයන් අතර රජයේ ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහද සිටීම විශේෂත්වයකි.

ඔහු මේ වනවිට අභ්‍යන්තර සංචාරක මෙහෙයවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා වන අතර මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක ව්‍යාපාරිකයෙකි. එම සංගමය සහ මෙරට තවත් ප්‍රමුඛතම සංචාරක සේවා ව්‍යාපාර සංවිධානය වන සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමය එක්ව ප්‍රකාශ කළේ දැනට කෙටුම්පත් කෙරී ඇති නව සංචාරක පනත විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා මෙම නව පනත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්  කර ලද  අතර මෙම නව පතතින් දැනට වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රි ලංකා සම්මන්ත්‍රණ කාර්යංශය යන ආයතන ත්‍රිත්වය එකම ආයතනයක් බවට පත් කිරීමට ද යෝජනා වී ඇත.


මේ ආයතන ත්‍රිත්වයම එක් කොට ශ්‍රි ලංකා සංචාරක අධිකාරිය නම් ආයනයක් නිර්මාණය කිරීමට නව පනත හරහා යෝජනා වී තිබේ. පසුගිය වසරේදී අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 අයවැය යෝජනාවලට අනුකුලව මෙම ක්‍රියා පිළිවෙත සකස් කොට තිබුණද මෙම ප්‍රධාන පෙළේ  සංචාරක ව්‍යාපාර නියෝජිත සංවිධාන අවධාරණය කරන්නේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව හදිසියේ මෙම පනත වෙනස් කිරීමන් කිසිදු  ප්‍රතිඵලයක් නොලැබෙනු ඇති බවය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ගේ පියා වන  ශ්‍රි ලංකා අභ්‍යන්තර සංචාර  මෙහෙයවන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ  පවසන්නේ  කොවිඩ් වසංගතය පැමිණෙන්නට පෙර මෙරට සංචාරක සංවර්ධනයේ සිදුවූ ප්‍රගතියට මෙරට පෞද්ගලික අංශය විශාල දායකත්වයක් ලබා දුන්  බවය. මෙම දායකත්වය ලබා දීමේදී දැනට පවතින සංචාරක පනත වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නොනැගි බව ඔහු සඳහන් කළේය. ඒ අනුව ඔහු පැවසූයේ අපට දැනට පවතින අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පවතින ආයතන රාමුව තුළින් ම ලබා ගෙන වර්ත මානයේ පවතින අභියෝගවලින් ගොඩ ඒම වඩාත් සුදුසු පියවර වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මාධ්‍ය හමුවේදී මෙම පනත ගෙන ඒමට මූලිකව ක්‍රියා කරන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු   ද දෝෂ දර්ශනයට ලක් කිරීමට සංචාරක ව්‍යාපාර නියෝජිතයෝ  ක්‍රියා කළහ.

Exit mobile version