ආසනවලට වඩා මගීන් ගත්තොත් පොදු ප්‍රවාහන සේවා අත්හිටුවනවා – දිලුම් අමුණුගම

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් අවදානමත් සමඟ සක්‍රීය නොකළ යුතුව තිබූ පොදු ප්‍රවාහන සේවා යළි සක්‍රීය කළේ ජනතාව සහ බස් කර්මාන්තයේ නිරත පුද්ගලයින් පිළිබඳ සිතා බවත් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය නොකරන ලෙස ලබාදී තිබෙන උපදෙස් නොතකමින් රියදුරු කොන්දොස්තරවරු කටයුතු කළහොත් අකමැත්තෙන් වුවද පොදු ප්‍රවාහන සේවා අත්හිටුවීමට සිදුවන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 70 ක පමණ ධාවන බලපත්‍ර අවලංගු කර තිබෙන බවද රාජ්‍ය ඇමතිවරයා කීය.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අන්තර් පළාත් ධාවන බලපත්‍ර 20 ක් හා පළාත් තුළ ධාවන පත්‍ර 50 ක් මෙලෙස අවලංගු කර තිබෙන බවද හෙතෙම කීවේය.

කොවිඩ් අවධානම ඉහළ ගොස් තිබෙන අවස්ථාවේ මගී ජනතාව මෙන්ම බස් රථ රියදුරු හා කොන්දොස්තරවරු වගකීම් සහගතව කටයුතු කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.
ආසන ගණනට ඉක්මවා මගීන් ගෙනයන බස් රථ නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවත් මෙම තීරණයට සියලු බස් හිමියන් කැමැත්ත පළකර තිබෙන බවත් කී ඇමැතිරයා බස් රථයක් වැඩිපුර මගීන් ගෙනගිය හොත් එහි සම්පූර්ණ වගකීම රියදුරු කොන්දොස්තරුවරු බාරගත යුතු බවද අවධාරණය කළේය.

රජයේ සේවකයින් සේවයට වාර්තා කළයුතු ආකාරය දැක්වෙන් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙන බවත් එය ලංගමට අදාළ නොවන බැවින් සභාපතිවරයා සියලු සේවකයින් අද (09) සේවයට වාර්තා කළ යුතු බවට නිවේදනයක් නිකුත් කළ බවත් ඔහු කීවේය.

රජය මගින් නිකුත් කළ නව චක්‍රලේඛණයට අනුව බස් රථ හා දුම්රිය ධාවන කාලසටහන් වෙනස්කර තිබෙන බවත් මේ නිසා අනවශ්‍යය තදබදයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ හැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Exit mobile version