ආරක්ෂක මණ්ඩලේ සතියකට වරක් ඉල්ලුවත් මෛත්‍රි-රනිල් දුන්නේ මසකට වරක්

ජාතික ආරක්ෂක මණ්ඩලය සතිපතා පවත්වන ලෙස බුද්ධි අංශ සහ ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලීම් කළ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ එකඟතාව මත එය මසකට වරක් පවත්වන්නට යෙදුණු බව හිටපු ජනාධිපති ලේකම්වරයකු වන පී. බී. අබේකෝන් මහතා පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (24) සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

මසකට වරක් ජාතික ආරක්ෂක මණ්ඩලය පැවැත්වීමට තීරණය වූවද එය පැවැත්වීමේ නවිශ්චිත දිනයක් නොතිබුණු බවත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ඉල්ලීම් මත ආරක්ෂක මණ්ඩලය පැවැත්වුණේ ජනාධිපතිවරයාගෙන් දින ලබා ගනිමින් බවද පී.බී. අබේකෝන් මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ධුර කාලයේ පත් වූ පළමු ජනාධිපති ලේකම්වරයා වූ අබේකෝන් මහතා 2015.01.09 සිට 2017.06.30 දක්වා තමන් ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළ බව අද පාස්කු ප්‍රහාරය වපිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.


පෞද්ගලික හේතුවක් මත තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව කී අබේකෝන් මහතා ජාතික ආරක්ෂාවට වඩා ආගමික හා ජාතීන් අතර සංහිදියාට එකල ප්‍රමුඛත්වය ලැබී තිබුණු බවත් එය දේශපාලන තීන්දුවක් වූ බවත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම් මුලින් සතිපතා පැවැත්වූවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු නොතිබීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් එම රැස්වීම සති පතා පැවැත්වීමෙන් පලක් නොවන බවට මතයක් ඇති වූ බවත් මාසයකට වරක් එය පැවැත්වීමට දේශපාලන තීන්දුවක් ගත්තේ ඒ අනුව බවද ඔහු සඳහන් කළේය.

එසේම ඔහු එහිදී සඳහන් කළේ රජය පත්වූ මුල් කාලයේදී ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම් අවසානයේදී ඊළගට රැස්වන දිනය දැනුම් දුන්නද පසු අවස්ථාවලදී ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයාගෙන් දිනයක් ලබාගැනීමට සිදුවූ බවයි.

ප්‍රසිද්ධ රහසක් වන හිටපු ජනපති සහ හිටපු අගමැති අතර තිබූ ගැටුම එම රැස්වීම්වලට බලපෑමක් එල්ල කළේ දැයි මෙහිදී කොමිසම බී.බී. අබේකෝන් මහතාගෙන් විමසා සිටියේය.

මුල සිටම යම් යම් ගැටලු දෙදෙනා අතර පැවතුණත් ඒවා තමාගේ කාලයේදී කරළියට නොපැමිණි බව පැවසූ හිටපු ජනාධිපති ලේකම්වරයා දෙදෙනා හිත හොදින් තොරව අවසන් වූ ආරක්ෂක කවුන්සිල රැස්වීම් පැවති බවද සදහන් කළේය.

එහෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදී දෙදෙනාම එක මතයකට එළඹුණු බවද පී.බී. අබේකෝන් මහතා අනාවරණය කළේය.

ජාතික ආරක්ෂාවට බලපාන යම් වැදගත් කරුණුක් පිළිබඳව ජනාධිපති දැනුවත් කිරීමට බුද්ධි ප්‍රධානීන්ට යම් අවශ්‍යතාවක් මතුවුහොත් ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වන තෙක් නොසිට ජනපතිව දැනුවත් කිරීමේ ක්‍රමයක් තිබුණේදැයි කොමිසම මෙහිදී බී.බී. අබේකෝන් මහතාගෙන් විමසා සිටියේය.

එවැනි අවස්ථාවල රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනපතිවරයා සෘජුව මුණගැසී සාකච්ඡා කරන අයුරු තමන් ජනාධිපතිවරයාගේ කාර්යාල කාමරයේ රැදි සිටින අවස්ථා දැක ඇති බව සදහන් කළේය.

ඇතැම් විට එම හමුවීම් සදහා තමන්ට කථාකර වේලාවන් වෙන්කර ගන්නා අවස්තාවන්ද ඇතැයි ඔහු සදහන් කළේය. එසේම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ පොලිස්පතිවරයාට ඝෘජුවම ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා පැවැති බවත් ඒ අය පැමිණන විට ඔවුන්ට ඉහළ ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ජනාධිතිවරයා තමන්ට දැනුම් දී තිබුණු බවද අබේකෝන් මහතා පැවැසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී ප්‍රශ්න කළේ එම රැස්වීම්වලදී ආගමික අන්තවාදය ගැන කරුණු සාකච්ඡා වූයේද යන්න පිළිබඳව හිටපු ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු අනාවරණය කළේ එවැනි කරුණු සාකච්ඡා වූ බවය.

වරක් අයි එස් ත්‍රස්ත සංවිධානයට එක්වීමට මෙරටින් පිරිසක් ගොස් ඇතැයි වරක් බුද්ධ් අංශ අනාවරණය කෙරුණු බවත් ඔහු සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම උතුරු – නැගෙනහිර ක්‍රියාත්මක වන ආගමික අන්තවාදී රැස්වීම් පිළිබඳව ද සාකච්ඡා වූ බවද ඔහු මෙහිදී හෙළි කළේය.

Exit mobile version