ආරක්ෂක අංශ ඉදිකළ ගොඩනැගිලි සමගම ඉඩම් අක්කර 108ක් පලාලි වැසියන්ට භාර දෙයි!

දිනසේන රතුගමගේ –

ආරක්ෂක අංශ විසින් යුද සමයේදී භාවිතයට ගන්නා ලද යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් අක්කර 108 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීම යාපනයේ පලාලි ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඊයේ (3) සිදු කෙරුණි.

මෙම ඉඩම් බාර ගැනීම සඳහා ඒවායෙහි අයිතිකරුවන් පැමිණ සිටි අතර ඉඩම්වල අයිතිය ඔවුන් වෙත ලැබීමෙන් පසුව පවුල් කීපයක් ඔවුන්ගේ නිවාස හා ඉඩම් දැක බලා ගැනීමට ගොස් තිබුණි.

1985 වාසරේ සිට මෙම ඉඩම් වරින් වර අත්පත් කර ගන්නා ලද අතර යාපනයේ වැසියන්ට එම ඉඩම් වසර 38 කට පසුව ආපසු ලැබී තිබුණි.

මෙම ඉඩම් අක්කර 108 න් අක්කර 13 ක් රජයේ ඉඩම් වන අතර ඉතිරි ඉඩම් පවුල් 75 කට අයත් කුඩා ඉඩම් වෙයි.
මෙම ඉඩම් වල පවුල් 75 ට අයත් පුද්ගලයින් 205 දෙනෙකු යළි පදිංචි කරවීම සඳහා අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු පියවර ගෙන තිබේ.


එම ඉඩම් වල වළලා තිබූ බිම් බෝම්බ ඉවත් කොට තිබුණු නමුත් යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ විසින් එම ඉඩම්වල ඉදි කරණ ලද ස්ථිර නිවාස හා ගොඩනැගිලි ඉවත් නොකොට ඒවා ඒ ආකාරයෙන්ම ඉඩම් අයිතිකරුවන් වෙත බාර දී තිබුණි.

යුද්ධයට හසු වී එම ඉඩම් වල තිබූ නිවාස බොහොමයකට හානි සිදු වී තිබූ අතර ආරක්ෂක අංශ නොසිටින්නට එම ඉඩම්වල තිබූ නිවාස මහ පොලොවටම සමතලා වීමට ඉඩ තිබුණු බව ඉඩම් හිමියෝ කීප දෙනෙකුම ප්‍රකාශ කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉඩම් ජනතාවට බාර දීමේ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා, එම්.ඒ.සුමන්තිරන් ,අංගජන් රාමනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යාපනය දිසාපතිවරයා යාපනය යුද හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් එස්.බෝතොට අතුලු තවත් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

Exit mobile version