ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් යුගදනවි ඇමරිකාවට දීම ගැන සිය ස්ථාවරය රටට කියන්නට සැරසෙති…

අජන්ත කුමාර අගලකඩ 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මතය රටට ළඟදීම ඉදිරිපත් කිරීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත.

එම පක්ෂවල නායකයන් විදුලි බල , ඛනිජ තෙල් සහ වරාය වෘත්තීය සමිති නායකයන් ඉදිරි දින කීපයේදී හමුවීමෙන් අනතුරුව ,මෙම ප්‍රකාශය කිරීමට බලාපොරොත්තු වන බව හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත ඉකුත් දා ලිපියක් යවමින් ඉල්ලීමක් කළ අතර එම සාකච්ඡාව ලබා දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය .


යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් එම පක්ෂ මතුකරන කරුණු සත්‍ය නොවන බව ජනාධිපතිවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත .

දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ  හෝ පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ  හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා මේ ලිපිය මගින් දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න   ඇතුළු පක්ෂ නායකයින් දස දෙනකුගේ අත්සනින් මෙම ලිපිය යවා තිබිණි .

Exit mobile version