ආණ්ඩුවේ වාහන 4800ක ඉරණම අප්‍රේල් අග විසඳෙයි

විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් දැනට භාවිතයෙන් ඉවත් කොට ඇති රජයේ වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව ලබන අප්‍රියෙල් මස අගදී තීන්දු කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යංශයට අයත් කොම්ප්ට්‍රෝලර් ජෙනරාල්වරයාගේ නියමය පරිදි මෙම තීන්දු ගැනීමට නියමිත අතර එයට පසුබිම් වී ඇත්තේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී මුදල් අමාත්‍යංශය විසින් වත්කම් කළමනාකරණය පිළිබඳව චක්‍රලේඛයක් මඟින් මෙම වාහන යළි අලුත්වැඩියා කරන්නේද නැතිනම් ඒවා බැහැර කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ගන්නා ලෙස සෑම රජයේ ආයතනයකටම කළ දනුම් දීමකට අනුවය.

එම චක්‍රලේඛයට අනුව මෙම තීරණය 2020 දෙසැම්බර් 31 වැනිදාට පෙර ලබාගත යුතු බවට ප්‍රකාශ වී තිබුණද ඒ සඳහා යළිත් කල් ලබා දී ඇති අතර මෙම කාලය ලබන අප්‍රියෙල් මස 30 වැනිදායින් අවසන් බව මේ පිළිබඳව වාර්තාවක් පළ කරන සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.


මෙම වාහන අතරින් වාහන 844ක් මේ වනවිට අලුත්වැඩියා කොට ඇති අතර තවත් වාහන 620ක් බැහැර කොට ඇත.

තවත් වාහන 3229ක් ඉදිරි තීරණය බලාපොරොත්තුවෙන් අංගනවල පවතින අතර ඒවායින් සමහර වාහන යළි අලුත්වැඩියා කොට භාවිතයට ගැනීමට ආයතන පෙලඹී ඇත.

විශේෂයෙන් අලුත් වාහන ආනයනය කිරීමට ඉඩ ලබා නොදෙන පසුබිමක් තුළ මෙම වාහන යළි අලුත්වැඩියා කර භාවිතයට ගැනීමේ පිළිබඳව අදහස් ඉදිරිපත්ව ඇත.

මෙම වාහන අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වියදම් ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුවන අතර ඊට අදාල ඉල්ලීම කොම්ප්ටෝලර් ජනරාල්වරයාගෙන් ලබාගත යුතු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රජයේ කාර්මික වැඩපළ වන ලක්දිව ඉංජිනියරින් සමාගමෙන් මෙම වාහන ගණනාවක් යළි අලුත්වැඩියා කිරීමට කටයුතු කර ඇති අතර මෙම ආයතනය රජය සතු ආයතනයක් බවට දැන ගැනීමෙන් පසුව බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රවාහන කළමනාකරුවන් එයින් ඔවුන්ට යටි මඩි ගැසීමට අවස්ථාවක් නොලැබෙන තත්ත්වයක් තුළ ඒ සඳහා යම් පසුබටවීමක් නිරීක්ෂණය වන බව ලක්දිව ඉංජිනියරින් ආයතනයේ කළමනාකරවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කොට ඇත.

Exit mobile version