ආණ්ඩුවේ ගෙවල් ඩොලර් ගෙවා මිලට ගැනීම පටන් ගනී!

Prasanna ranatunga

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පලමු නිවස අලෙවි වේ. ඒ අනුව ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද (27) උදෑසන නාගරික සංවර්ධන අධිකාරියේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ. ඒ සදහා ඔහු ඩොලර් 40,000 ක මුදලක් එවු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.

විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පියවර ගත්තේය. ඩොලර් මගින් මෙම නිවාස මිල දී ගන්නා අයට 10% ක වට්ටමක් ලබා දිමට ද තීරණය කෙරිණි.

ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු විසින් අද මිල දී ගත් වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02 කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ158කි. ඩොලර් මගින් මිල දි ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිල දී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142 කටය. මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිල දි ගැනීම සදහා ඉල්ලුම් කර තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් 275,000 ක ඉලක්කයක් සපුරා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අපේක්ෂා කරයි.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ රටේ පවතින ඩොලර් අර්බුදයට ඇති පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කෙරුණු මධ්‍යම ආදායම් නිවාස විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනිමට පහසුකම් සැලසු බවයි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් එවැනි නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට අවසන් කර තිබේ. බොරැල්ල ඕවල්වීව් ව්‍යාපෘතිය නිවාස ඒකක 608 කින් සමන්විත අතර අංගොඩ ලේක්රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12 ක් ඉදිකෙරෙමින් පවතී. එමගින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667 කි. මෙම නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනීමේ පහසුකම් සැලසීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විධිමත් ආකාරයට බැංකු මගින් විදෙස් මුදල් ප්‍රේෂණය කර ඇති විදෙස් ගත ශ්‍රමිකයන්ට මෙම නිවාස ඩොලර් මගින් ලබා ගැනීමේ දි ප්‍රමුඛතාව ලබාදීම පිළිබදව ද අවධානය යොමු වී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Exit mobile version