ආණ්ඩුවේම නොදරුවන් යළිත් මඩ ගැසුවොත් මටත් තීන්දුවක් ගන්න වෙනවා…

කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියයි...

පොදු ජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදිය යුතු බවට තමන් කළ  ප්‍රකාශය සම්බන්ධව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා  නිසි අවබෝධයකින් කටයුතු කළත් ආණ්ඩුවේ සිටින ඇතැම් නොදරුවන් තමන් විවේචනය කරමින් මඩ ගැසීමට පටන් ගෙන ඇති බව විමල් වීරවංශ කීවේය.

එය තවදුරටත් එලෙස සිදුවහොත් තමන්ට ද යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එහිදී අදහස් දක්වමින්  විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත.

මහින්ද සුළඟ ආරම්භක සාමාජිකයෙක් වශයෙන්  ඊට කිසිම සහායක් නොදැක්වූ අය මෙන්ම ඒ අවස්ථාව වනවිට දකින්නටවත් නොමැති   වූ අය තමන්ව නිර්දය ලෙන විවේචනය කරන බව ඔහු කීවේය. ඔවුන් කියන ආකාරයට තමන් කියපු දේ ඉල්ලා අස් කරගැනීමට හෝ සමාව ගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමතිවරයා කීවේය.


ඇමතිවරයා මෙසේ කීවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්  ඇමති විමල් වීරවංශට එරෙහිව චෝදනා නැගීමත් සමග ඇති වී ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ජන පෙරමුණට අයත් සුලු පක්ෂ 12ක් ඊයේ (11) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ රැස් වූ අවස්ථාවේ දීය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට වහාම ජනාධිපති හා අගමැති හමුවී සාකච්ඡා කිරීමට එම පෙරමුණේ පක්ෂ 12ක නායකයෝ  එම රැස්වීමේ දී  තීරණය කළහ.

මෙම අර්බුදය දුර  දිග ගියහොත් ආණ්ඩුව දෙකඩ විය හැකි බවත්, එවැනි විනාශයකට ඉඩ දිය නොහැකි බවත් ඒ නිසා නොපමාව මේ ගැන සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණිය යුතු බවත් එම පක්ෂ නායකයින්ගේ ස්ථාවරය වී තිබේ.

ඇමති විමල් වීරවංශගේ නිවසේ වූ මෙම රැස්වීමට පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ 12ක නායකයින් හා ක්‍රියාකාරී  නියෝජිතයින් 20ක් පමණ සහභාගී වී තිබුණි. එහිදී විමල් වීරවංශ සම්බන්ධව පැන නැගී තිබුණු ප්‍රශ්නය හා ජිනීවා යෝජනා, කොරෝනාවලින් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ දීම වැනි කරුණු ගණනාවක් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

පොදුජන පෙරමුණේ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු බවට ඇමති විමල් වීරවංශ සති අන්ත පුවත්පතකට ලබා දී ඇති ප්‍රකාශයෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඔහුට විරුද්ධව කළ ප්‍රකාශයෙන් අභ්‍යන්තරයේ උද්ගතව තිබෙන තත්වය සම්බන්ධව මුල් තැන දී  මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන ගොස් තිබේ.

මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී දායකත්වය දී  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට හා වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ප්‍රධාන තැනක් ගෙන කටයුතු කළ විමල් වීරවංශව විවේචනය කරමින් ඔහුව අවතක්සේරුවට ලක් කිරීම කෙළෙහි ගුණය නොදත් අය කරන අකටයුත්තක් බව මෙහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල  ප්‍රකාශ කළේය.

මේ විවේචනය නින්දිත පහත් ක්‍රියාවක් බවත් කිසිවිටෙකත් එවැන්නකට ඉඩ දිය නොහැකි බවත් උදය ගම්මන්පිල තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

උද්ගතව ඇති මෙම තත්වය නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවෙමින් තිබෙන අර්බුදය අනවශ්‍ය එකක් බවත් මෙය සමතයකට පත් කරගැනීම හෝ ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන ප්‍රථමයෙන් අගමැති හා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බව ඇමති වාසුදේව නානායක්කාර පක්ෂ නායක රැස්වීමට යෝජනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම යෝජනාව පිළිගත් සියලු නියෝජිතයන් ලඟදීම අගමැති හා ජනාධිපති හමුවීමට තීරණය කර ඇත.

Exit mobile version