ආණමඩුව රථ වාහන අංශයේ ස්ථානාධිපති අනතුරකින් මරුට

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

ආණමඩුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි රථ වාහන ස්ථානාධිපති හදිසි වැටලීමකට යමින් සිටියදී ආණමඩුව නගරයේදී රිය අනතුරකට ලක්ව මිය ගොස් ඇති අතර, ඔහු සමග ගමන් ගත් දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලිසිය සදහන් කරයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) හැවිරිදි උප පොලිස් පරික්ෂක වරයෙකි. එක් දරු පියෙකු වන උප පොලිස් පරික්ෂකවරයා නිකවැරටිය ඉහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අනතුරින් බරපතල තුවාල ලබා ඇති දූෂණ මර්ධන ඒකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුරංග යන අය ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කියයි.

අදාල රිය අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඉකුත් 04 වන දින රාත්‍රී කාලයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇති බව කියයි.

කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ලොරි රථයක හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ලැබීමත් සමග ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පිටත්ව ගොස් ඇති බව කියයි.

ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇති අතර, එම හේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබුණි.

එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ ගවයින් රැගත් ලොරි රථය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහු බදින්නට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබුණි.

වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ පිහිටි සුවිසල් හෝරා ස්ථම්භයේ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. ඒ සමගම ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇති බවයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි. රෝහලට ඇතුළත් කරන විටත් රථ වාහන අංශයේ ස්ථානාධිපති වරයා එම ස්ථානයේදීම මිය ගොස් සිට ඇති බව කියයි.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Exit mobile version