අහුන්ගල්ල කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ අවසන් කටයුතු සාමාන්‍ය ආදාහනයක් ලෙස සිදු කරලා…

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය-

බලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලයට අයත් අහුන්ගල්ල අක්කර විස්ස ප්‍රදේශයේ හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ   අයගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද  පීසීආර් පරීක්ෂණයේදී මියගිය අය කොවිඩ් ආසාදිත අයෙකු බව තහවුරු වී තිබේ.

මොහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් අහුන්ගල්ල ආදාහනාගාරයේදී සිකුරාදා (11) දින සිදුකර තිබෙන අතර එයට සාමාන්‍ය ආදාහනයකට මෙන් ඔහු ඥාතීන් රැසක්ද සහභාගී වී තිබේ. දේහය ආදාහනය කරා සාමාන්‍ය රථයකින් රැගෙන විත් තිබූ බවද දැන ගන්නට තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල, අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.


මෙම පුද්ගලයා මීට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීම මත රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධානය වූ අයෙකු බව බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 

පසුව ඔහු තවත් දින 14 ක කාලයක් නිවසේද නිරෝධායනය වී පසුගිය දෙසැම්බර් 06 දින එම කාලයද අවසන් කර තිබේ. පසුව දින 03 ක් මොහු සිය රැකියිවටද ගොස් තිබෙන අතර මරණයට පත්ව තිබුණේ පසුගිය දෙසැම්බර් 09 දින පස්වරුවේය. 

මේ සම්බන්ධයෙන් බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි ගේ උපදෙස් අනුව මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකරන ලද බවයි. කොවිඩ් ආසාදිත වි සුව වූ අයගේ දිගු කලක් යන තෙක් පීසීආර් පොසිටිව් විය හැකි වුවත් ඔවුන්ගෙන් නැවත රෝගය බෝ නොවන නිසා සාමාන්‍ය ආකාරයෙන් ආදාහන කටයුතු සිදු කිරීම ගැටලුවක් නොවන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

මෙසේ මියගිය පුද්ගලයාගේ පවුලේ තවත් 05 දෙනෙක්ද කොවිඩ් ආසාදිත වී මේ වන විට සුවය ලබා තිබෙන බවත් ඕනෑම වෛරස් රෝගයක් වැලදී සුව වීමෙන් පසුව වුවද එහි පොඩි පොඩි කොටස් ඉතිරිව තිබිය හැකි බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ නැව් තාටාකාංගනයේ කොවිඩ් ආසාධිතයෙකු අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේ මල ගෙදරකට සහභාගි වීමෙන් මීට මාස 02 කට පමණ පෙර අහුන්ගල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයින් 46 දෙනෙකු හමු විය. ඒ හා සම්බන්ධව ප්‍රදේශයේ පවුල් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ අතර පුද්ගලයින් 300 කට ආසන්න පිරිසකගේ පීසීආර් පරීක්ෂණද සිදුකර තිබේ. අහුන්ගල්ල, අක්කර 20 යනු කටුවිලට යාබද ගම්මානයයි.

 

 

 

 

  

Exit mobile version