පිච් එක අවුල් වූවා විය හැකිය. අවුට් ෆීල්ඩ් එක ස්ලෝ වීම හෝ හතරේ සීමා විශාල වීම වැනි නහුතයක් කතා ඉදිරිපත් වන බව සැබෑය. ඒ පිට්ටනියේ ක්‍රිකට් ගැසීම ලේසි නැති බව පෙනුනේය.
ඒත් මෙහෙම ගොබ්බ ගැහිල්ලක් ගහන්නට වර්ල්ඩ් කප් එකකට ගියේ අහවල් එකකටදැයි ක්‍රීඩා ලෝලී අපට හිතුනේය. අපට එසේ හිතෙන්නට හොඳ නැත. මුන් ගැහුවේ ජීවිතයේ පළමු වතාවට ක්‍රිකට් ගහන උන් ලෙසය. දැන් එහෙනම් ඇවිත් ගහපල්ලා වැනි අමන කතා කියන එක නැවැත්විය යුතුය. උන් 11 දෙනා පිට්ටනියට බැස්සේ ක්‍රිකට් ගහන්නට බැරි නමුත් ක්රිකකට්වලට ආදරය කරන අප නියෝජනය කරන්නටය. මිලියන 20ක මිනිස්සු සහිත රට නියෝජනය කරන්නටය.
අනෙක් හැමදේම ගැහුවත් ක්‍රිකට් ගහන්නට කාලයක සිට අපේ කණ්ඩායමට නොහැකි වීම තේරුම්ගත නොහැකිය. ඉන්දියාවට එක් දින ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 50කට දැවී ගියේත්, ලෝක කුසලාන තරගයේ ලකුණු 55කට දැවී ගියේත් මේ ලෙසමය. ක්‍රිකට් ගහන්න අමාරු බව කියාගෙනය.
ඒ ශ්‍රිලංකා කණ්ඩායම අද මරණීය වර්තාවක් තිබ්බේය. ඒ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමිනි. විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ තමන් ලද අඩුම ලකුණු සංඛ්‍යාවට අද ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගියේය.
මෙය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ 14 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවය. අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඇත්තේ නෙදර්ලන්තය සතුවය.
තරගයට මොකද වුනේ
කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. පන්දුවට පහරදීම තේරුවේ ඔවුන්ය. එය ඉතාම අනුවන තීන්දුවක් බව වැටහෙන්නේ තණතීරුවේ මන්දගාමී පෘෂ්ඨයේ හැසිරීම තේරුම් ගැනීමට තරම් පරිචයක් එකම පිතිකරුවෙක් සතුව හෝ නොතිබීම ය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෘත්තීය භාවය සම්බන්ධව ගැටලුවක් මතුවන්නේ මෙවැනි අනපේක්ෂිත පරිසරයක දී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව ප්‍රායෝගික ඥානයක් නොමැති වීම නිසාය. ඒ අවස්ථා කළමනාකරණය කරගැනීමට ඔවුන් දැඟලුවේ අනුකම්පා හිතෙන ආකාරයට ය. හොඳටම දුක හිතෙන්නේ නායකයා වූ වනිදු හසරංග දැවී ගිය ආකාරයේ වගකීම් රහිත ස්වරූපය දුටු විටය. විකට්ටුව විවෘත කර පහර දෙන්නට යන දසුන් ශානකගේ පොළු ගැලවෙන විටය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තේරුවේය. පැතුම් නිශ්ශංක ලකුණු 03කි. පන්දු 30කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 19කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 11කි. වනිඳු හසරංග ලකුණු ලබා ගත්තේ නැත. කශේව් මහරාජ්ගේ පන්දු දඟ කැවෙන ආකාරය දැක දැක සීමා ඉරෙන් පිටතට පැමිණ පහර දෙන්නට යන වනිඳු හසරංග ක්වින්ටන් ඩි කොක් විසින් ස්ටම් කිරීමකට හසුකරගන්නේය. සධීර සමරවික්‍රම තමන් මුහුණ දුන් මුල්ම පන්දුවෙන් ලකුණු නොලබා දැවී යන්නේ කේෂේව් මහරාජ් ඉදිරියේ වම් ඉන්න කුඩු කරගනිමිනි.
චරිත් අසලංක ලකුණු 06කි. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 16කි. දසුන් ශානක ලකුණු 09කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ලකුණු 77 කි.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සියලු දෙනාම විශිෂ්ට පන්දු යැවීමකය. අති විශිෂ්ට පන්දු යැවීම තරගයේ වීරයාත් වූ එන්රිච් නොර්ට්ජේ ගෙනි. ඔහු පන්දු ඕවර 4ක් යැව්වේය. ලබා දුන්නේ ලකුණු 07කි. කඩුළු 04ක් දවා ගත්තේය. විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි අති විශිෂ්ට හැකියාවන් ප්‍රකටවන අවස්ථා විරලය.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/11.jpg)
කගිසෝ රබාඩා ලකුණු 21ට කඩුළු 2කි. කේෂව් මහරාජ් ලකුණු 22 ට කඩුළු 2කි. ඔට්නෙයිල් බාර්ට්මන් පන්දු ඕවර 4 යැව්වේ ලකුණු 09කට ය. කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුනු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 16.2ක දී කඩුළු 4ක් පමණක් දැවී ඉලක්කය පසු කර ගියේය.
ක්වින්ටන් ඩි කොක් ලකුණු 20ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 19ක් ලැබුවේය. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුළු 02ක්, නුවන් තුෂාර සහ දසුන් ශානක කඩුල්ල බැගින් ලැබුවේය.
මැච් බලන ක්‍රීඩා ලෝලීන්ට කිව යුතුව ඇත්තේ පැපුවා නිව්ගිනියා වලින් ගුටි කෑවත් අපේ කණ්ඩායම වගේ ඉවසන්නට පුරුදුවන ලෙසය.