අස්වීමේ සහතිකය ගන්න ගිය මහනුවර ඉහළ පෙළේ බාලිකාවක සිසුවියකට   අනධ්‍යන කාර්ය මණ්ඩලය පැය 03ක් හිංසනයට ලක් කරලා… 

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා ජාතික පාසලක අධ්‍යාපනය ලද සිසුවියක් සිය අස්වීමේ සහතිකය ලබා ගැනීමට පසුගිය 11 දින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය නොමැති බව පවසමින් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පැය ගණනක් ඇයව විදුහලේ රඳවා තබා ගනිමින් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ මව ද විදුහල්පතිවරියකි. ඇය අස්වීමේ සහතිකය ලබා ගැනීම පිණිස පසුගිය 11 දින පාසලට ගොස් ඇත්තේ මව සමඟිනි.

පාසල තුළට සිසුවිය පමණක් ඇතුළු කර ගැනීමෙන් පසු මව පැය තුනක පමණ කාලයක් පාසලෙන් පිටත රැඳී සිට ඇත.

දියණිය ප්‍රමාද ඇයිදැයි විමසූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ද ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.


පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අද (14) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට මෙම සිසුවිය   අස්වීමේ සහතිකය ලබා ගැනීම සඳහා පාසලට ගොස් ඇත.

විදුහල්පතිනිය මංගල උත්සවයක් සඳහා සහභාගි වීමට කුරුණෑගල ප්‍රදේශයට ගොස් තිබෙන බැවින් වෙනත් දිනයක පැමිණෙන ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දුන් බවත් තම අවශ්‍යතාව දැනුම් දුන් විට ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසා පාසලෙන් පිටවන ලෙස දැනුම් දුන් බවත් සිසුවිය පවසයි.

අස්වීමේ ලිපිය ලබාදෙන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ අවස්ථාවේ ඔවුන් සිසුවියට තර්ජනය කරමින් ඇයට පාසලෙන් පිටතට ඒමට නොහැකි වන ලෙස ගේට්ටු වසා දමා ඇත.

පසුව ඒ පිළිබඳව ඇගේ මව සහ පියා  මහනුවර පොලීසියටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරියටත් පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයටත් දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව නියෝජ්‍ය විදුහල්පතිනිය ගේ අත්සන සහිතව අස්වීමේ සහතිකය  දියණිය වෙත ලබා දී තිබෙන බවත් මානසික රෝගී තත්ත්වයක් සඳහා කලක් ප්‍රතිකාර ලබාගත් ඇය මෙම සිදුවීමත් සමඟ යළිත් රෝගී වී සිටින බවත් සිසුවියගේ පියා ප්‍රකාශ කළේය

Exit mobile version