අවුරුදු 900ක් පැරණි පොලොන්නරුව කිරිවෙහෙර  බදාම තලය වනසයි… මහා සංඝයා උද්ඝෝෂණයේ

පුරාණ පොලොන්නරුව කිරි වෙහෙරේ හතරැස් කොටුව මත බෝල්ට් ඇණ බස්සවා කොන්ක්‍රීට් ආස්තරණ දමා වසර 900ක් පැරණි බදාම තට්ටුව විනාශ කර ඇති අයුරු....

සිංහල බෞද්ධ උරුමයේ සජීවී වාස්තු විද්‍යාත්මක සංකේතය සේ සැලකෙන පෞරාණික කිරිවෙහෙර දාගැබ් වහන්සේගේ වසර 900ක් පැරණි විශිෂ්ට ලෙස සංරක්ෂණය වූ බදාම තට්ටුව විනාශ කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතියකින් ඒ මත ඇණ ගැසීමේ   අපරාධයට එරෙහිව ඊයේ (25) මහා සංඝයාවහන්සේ පිරිසක් පොලොන්නරුව පූජා භූමියේ විරෝධතාවයක නිරත වූහ‍

උඩස්ගිරියේ සමිත හිමි ඇතුළු හිමිවරුන්ගේ විරෝධතාවය…

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි ඇතුළු මේ සංඝයා වහන්සේ ප්‍රකාශ කළේ මහා පැරකුම්බාවන් ජීවමානව දකිනවා සේ දර්ශනය වන වසර 900ක් පැරණි පෞරාණික බදාම තලය මේ තරම් මුග්ධ ලෙස පහරන්නේ කුමණ ආකාරයේ පුරාවිද්‍යා සංරක්ෂණ විධි නියමයකින් ද  යන්නය.

මෙම ස්ථූපය පරාක්‍රමබාහු රජුගේ (1153-1186) බිසවක වූ සුභද්‍රා දේවිය විසින් ඉදිකෙරූවක් බැව ද   අතීතයේ මෙම ස්ථූපය  රූපවතී ස්තූපය නමින් හැඳින්වූ බවද  ඉතිහාසගත තොරතුරවලින් පැනේ.


ප්‍රමාණයෙන් අඩි අසූවක් පමණ වුවද මේ දාගැබ්වහන්සේ ශාස්ත්‍රීය  ලෝකයට වටින්නේ  වසර 900 ක පමණ කාලයක් ස්වභාවික බලපෑම් යටතේ, මුල් ඉදිකෙරූ ස්වරූපයෙන්ම බදාම ආලේපිත තට්ටුව විශිෂ්ට ලෙස සුරක්ෂිතව ඇති ලංකාවේ එකම ස්ථුපය වීමය. එමෙන්ම මෙවැනි පෞරාණික බදාම තට්ටුවක් සංරක්ෂණය වී ඇති ලෝකයේ අතිශයින්ම දුර්ලභ ඉදිකිරීම්වලින් එකක් වීමය.

හතරැස් කොටුව මත පුරාණ බදාම තලය වනසා කළ ඉදිකිරීම්….

මෙම බදාම තලය ජාතික උරුමයක් ලෙස සංරක්ෂණයට ලක්විය යුතුව තිබුණේ එබැවිනි. එහෙත් මේ බදාම තලය විනාශ කර ඒ මත දැවැන්ත බෝල්ට් ඇණ බස්වමින් අතිශයින්ම අශාස්ත්‍රීය ඉදිකිරීමක් සිදුවී ඇති බව වාර්තා වී තිබිණි.

සංස්කෘතික ඇමතිවරයා වූ අගමැතිවරයාගේ සංකල්පයක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල යොදවා සිදුකරන අවිචාරවත් විනාශකාරී ව්‍යාපෘති සමූහයකට අද මහා සංඝ සංඝයා වහන්සේ විරෝධතාවය පළ කළහ.

පුරාවස්තු සුරැකීමේ සංගමයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි පැවසුවේ ජාතියක් එක්ව රක්ෂා කළ යුතු කිරිවෙහෙර වැනි වාස්තු විද්‍යාත්මක නිමැවුමක් මේ ආකරයෙන් විනාශ කරන්නේ කුමණ විද්‍යාත්මක පදනමකින්ද යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතියට පැහැදිලි කර දිය යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



පුජා නරගරයක් කිරීමට සඳහා යැයි පවසමින් මේ ‍ඓතිහාසික ලෝක උරුම භූමිය පහරමින් කොන්ක්‍රීට් පාරවල් තනා මකර තොරන් ගසා එහි ජීවමාන වටිනාකම කෙළසන්නට කිසිවෙකුට නොහැකි බවත්, ආලාහන පිරිවෙණ යනු සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය හෝ හම්බන්තොට කඩමණ්ඩිය නොවන බව අගමැතිවරයාත් ඔහුගේ සංස්කෘතික ලේකම් වූ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා තේරුම් ගත යුතු බවත් උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.

Exit mobile version