අර්බුදය උග්‍රවෙයි… තෙල් සංස්ථාවට ණය නොදෙන්නැයි මහ බැංකු අධිපති නියෝග කරයි!

“මෙහෙම ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙයි... මහ බැංකු අධිපතිවරයා පවසයි!

සුජිත් හේවාජුලිගේ –

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.


මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.

” ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා” යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන්  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.

මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කළේ‍ය.

තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version