අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

වත්මන් රජයේ මංගල අයවැය ලේඛනය වැඩි ජන්ද 97 කින් අද (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයට පක්ෂව ජන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 54ක් හිමි විය.

සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය අයවැයට විරුද්ධව ජන්දය දුන්හ.


ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජන්දය භාවිත කරන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියහ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දස දෙනාද ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් 17 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබෙහි නොසිටියහ.

සිරදඬුවම් ලැබ සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාද අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.

පළමුව විද්‍යුත් ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වූවත් තාක්ෂණික දෝෂයක් මත එය අතර මග නතර කෙරිණි.

ඉන් පසුව මන්ත්‍රීවරුන් පෙළින් පෙළට සිය අසුන්වලින් නැගිට ඡන්දය පාවිච්චි කළහ.

මුදල් ඇමැතිවරයා ලෙස සහ අගමැති මහින්ද රාජපක්ෂ නොවැම්බර් 17 දින අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

2021 වසරේ සමස්ත වියදම සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත මඟින් යෝජනා කර තිබුණි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වූ අතර දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය.

අය වැය දෙවන වර කියවීමට පක්ෂව ජන්ද 151 ලැබුණූ අතර, විරුද්ධව ජන්ද 52 ක් හිමි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනිදා සිට ඊයේ (10) දක්වා පැවැත්විණි.

Exit mobile version