අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමතිකම චමල්ගෙන් අද්මිරාල්ට?

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් උසුලනු ලබන අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය තනතුර රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය අද්මිරාල් වීරසේකර මහතාට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ පසුගියදා සිදු කෙරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශකයන් 19 දෙනකු හදිසියේ මාරු කිරීම සම්බන්ධයෙන් ඇති වු මත ගැටුමක් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

‍මෙම අපරාධ විමර්ශකයන් මාරු කිරීම සම්බන්ධයෙන් අදාළ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා යම් නොසතුටකින් පසුවන අතර එහි ඇතැම් විමර්ශකයන් මාරු කිරීම් සම්බන්ධයෙන් විරෝධයද පළ කොට ඇත.


මෙම අමාත්‍ය දුරය වෙන අයකුට ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ සඳහා දැනට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන විශ්‍රාමික අද්මිරාල් සරත් විරසේකර මහතා මෙම තනතුර වෙත පත් කිරීම පිළිබඳ ව අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම චමල් රාජපක්ෂ මහතා ද එකඟත්වය පළ කර ඇති අතර නුදුරේදීම මෙම තනතුරු මාරුව සිදුවනු ඇති බව අප වෙත තොරතුරු හෙළි කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙම අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහාද වෙනමම ලෙකම්වරයකු පත් කිරීමට නියමිත අතර ඒ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීම පිළිබඳවද අවධානය යොමු ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version