අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

මෙරට දේශපාලකයන් ඇතුළු ප්‍රභූන් තම බලාපොරොත්තු වෙනුවෙන් භාර හාර වන්නට යන ඉන්දියාවේ සුප්‍රකට තිරුපති තිරුමාලා බාලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා අද (20) පෙරවරුවේ කොවිඩ් 19 ආසාදනයෙන් රෝගාතුරව මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පෙද්දින්ති ශ්‍රි නිවාස මූර්ති දීක්ෂතුලු නම් මෙම ප්‍රධාන පූජකවරයා මිය යන විට 75 වැනි වියේ පසුවිය.

ඔහු එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ දී රෝගය උත්සන්න වීම නිසා මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


තිරුපති කෝවිලේ ආගමික තේවා කටයුතු සඳහා පූජක පරම්පරා හතරක් සියවස් ගණනාවක් සිට මෙහෙවර කරන අතර ඔහු එයින් එක් පූජක පවුලකට අයත් සාමාජිකයෙකි.

ඔහු ප්‍රධාන පූජක තනතුරේ කටයුතු කරන අතරේ කෝවිලේ පාලක මණ්ඩලය 2018 වසරේදී පූජකයන්ට වයස අවුරුදු 58න විශ්‍රාම යා යුතු බවට තීරණය කිරීමත් සමඟ මීට වසර දෙකකට පෙර මෙම ප්‍රධාන පූජකයා විශ්‍රාම දිවියට එලඹියේය.

නිතර දහස් ගණනකගේ වන්දනාවට පාත්‍ර වන තිරුපති කෝවිලේ පූජකවරුන් 18 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 140 දෙනකු මේ වනවිට නව කොරෝනා හෙවත් කොවඩ් 19 රෝගයට ගොදුරු වී ඇති අතර තවදුරටත් පූජකයන් අසනීප වුවහොත් දිනපතා වතාවත්වලට සහ බැතිමතුන්ගේ කටයුතුවලට බලපෑම් ඇතිවිය හැකි බව කෝවිලේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින 80ක් වසා දමා තිබූ කෝවිල පසුගිය ජූනි මස 11 වැනිදා බැතිමතුන් වෙත විවෘත කර ඇති අතර සීමාසහිත තත්ත්ව යටතේද දිනකට 12000ක් බැතිමතුන්ට කෝවිල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව වාර්තා වේ.

Exit mobile version