අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය ඥානසාර හිමියන්ටත් නොලැබෙන හැඩ…

පක්ෂ සභාපති “රෝයල් බීච් සමන්“ හෙවත් සමන් පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

Galagodaatte-Gnanasara-Thero

ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මැතිවරණ ප්‍රතිඵල අනුව අපේ ජන බල පක්ෂයට  හිමිව ඇති පාර්ලිමේනතු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන බව සඳහන් වුවද එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා හෙවත් “රෝයල් බීච් සමන්“ පත් වීමේ සැලසුමක්  පිළිබඳව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසර ට අනාවරණය කළේය.

ජාතික ලයිස්තුවට පත්විය හැක්කේ මැතිවරණයට ඉල්ලා පරාජය වූ හෝ ජාතික ලයිස්තුවේ නම සඳහන් පුද්ගලයන්ට පමණක්වන අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තරග කළ කුරුණෑගල අපේක්ෂක ලයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසා උන්වවහන්සේට තරග කිරීමට නොහැකි විය. මෙම තත්ත්වය තුළ ඥානසාර හිමියන්ට සෘජුවම ජාතික ලයිසතුවෙන් පත් වීමේ බාධකයක් පවතී.

ඒ අනුව ජාතික ලයිස්තුවේ නම් සඳහන් පුද්ගලයකු මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නම් කොට ඔහු දිවුරුම් දීමෙන් පසු ඔහු  ඉල්ලා අස්වී පක්ෂ මහලේකම්වරයාට යළි මන්ත්‍රිවරයකු පත් කිරීමට පවතින නෛතික ඉඩකඩ භාවිත කිරීමට පක්ෂය සූදානම් වන බව පක්ෂ සභාපතිවරයා මාධ්‍ය හමුවකදී පැවසීය. කෙසේ වුවද මෙසේ පත් කරන පුද්ගලයා කවුරුන්දැයි ඔහු මාධ්‍ය හමුවේ හෙළි නොකළද ලංකාසරට වාර්තා වන්නේ සමන් පෙරේරාගේ නම මන්ත්‍රි ධුරය සඳහා පත් කරන ලෙස  එම පක්ෂයේ අලුතින් පත් කළ මහලේකම්වරයා විසින් මේ වනවිට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවය.


 පක්ෂ සභාපතිවරයාට අනුව මෙම පක්ෂයේ මහලේකම්ව සිටි  වේදිරිගම විමලතිස්ස හිමියන් එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා පත් කිරීමේ තීරණය ගැනීමේ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවීම මඟ හැර එම සභාවේ අනුමැතියකින් තොරව තමන් එම තනතුරට පත් කරන ලෙස මැතිවරණ කොමිසමට දන්වා ඇති අතර මේ වනවිට මෙම ස්වාමීන් වහන්සේ පක්ෂ ප්‍රබලයින්ගෙන් සැඟවී සිටිති.

කෙසේ වුවද මෙම හිමි නම පක්ෂයේ කටයුතුවලින්  මඟහැරීමෙන් පසුව මධ්‍යම කාරක සභාව රැස් කොට පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන   නිශාන්ත රත්නායක පත් කිරීමට තමන් කටයුතු කළ බව පක්ෂ සභාපති සමන් පෙරේරා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.  ඔහු තවදුරටත්  මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම ජාතික ලයිස්තුවේ නොමැති හෙයින් උන්වහන්සේ සෘජුවම පත් කිරීමට නොහැකි  බැවින් ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කරගනිමින් උන්වහන්සේ පත් කිරීම පිළිබඳව ඒකමතික තීරණයක හිඳ කටයුතු කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 දකුණේ  සිදුවීම් ගණනාවක් සම්බන්ධ චෝදනා ලද්දකු වන සමන් පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් යම් හෙයකින් ඉල්ලා අස් නොවුවහොත් ඔහු දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස වරප්‍රසාද ලබාගෙන කටයුතු කරාවිද යන සැකය මතුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version