අනුරාධපුරයේ සංචාරක කර්මාන්තය නටබුන් වෙමින් ඇති අයුරු හෝටල් හිමියෝ කියති!

බැංකුවට සින්න වෙච්චි හෝටල් පවරා ගෙන යළි ඒ දෙපළ බැංකුවට නැවත විකුණා ගන්නවත් බෑ... බැංකුවත් අසරණයි...

අනුරාධපුර –  පර්සි කුරුනේරු –

සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකිවූ  ප්‍රධාන පෙළේ   සංචාරක හෝටල් හිමියන් තිදෙනෙක් මේවනවිට එම ක්ෂේත්‍රයට සමුදී ඇති බව  අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩේමියන් පෙරේරා   පවසයි.

සභාපතිවරයා පවසන පරිදි තවත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් තම ව්‍යාපාර විකුණා දමා විදෙස්ගත වීමට සූදානමින් ඇත.

අනුරාධපුර සචාරක හෝටල් හිමියන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට  අනුරාධපුරදී   පැවති හමුවකදී ඔහු  මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩේමියන් පෙරේරා   මෙසේද කීය.


“වසර ගණනාවක සිට මේ රට පාලනය කළ සියලුම ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, විෂය භාර අමාත්‍යවරුන් මේ ප්‍රදේශයේ සිටි විශාල ඇමතිවරුන් පිරසකට  අපි මුහුණ පා සිටින  ප්‍රශ්න  ගැන ඉදිරිපත් කොට තිබෙනවා. නමුත් මේ වනතුරු ඔවුන්ගෙන් අපට කිසිම සහනයක් ලැබී නෑ.”

ටිකට් එක දවස් තුනක් කරන්න බැරි ඇයි?

“අපි ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ප්‍රමුඛ කාරණය වුනේ අනුරාධපුරේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙත අනුරාධපුර අටමස්ථානය ඇතුලු සුන්දර ස්ථාන නැරඹීමට  එක් දිනක් සඳහා වලංගු වන ලෙස  මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රය දින තුනක කාලයකට දීර්ඝ කර දෙන ලෙසටයි. එම ප්‍රවේශ පත්‍රය  වෙනස්  කිරීමෙන්  රජයට කිසිම වැය බරක් හෝ අගතියක්  සිදු වන්නෙ නෑ. මේ හරහා සිදුවන එකම දේ ඍජු හා වක්‍රව  නිරතව සිටින  සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම දෙනාට එයින් උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව ලැබීමයි.”

“එම ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණොත් දින දෙකක් හෝ තුනක කාලයක්  සංචාරකයන් අනුරාධපුරේ රඳවා ගත හැකියි. ඒ අනුව  සංචාරකයන් අනුරාධපුරේ සංචාරක  හෝටල් වල නවතිනවා නම්  කිසිම අයුරකින් ගැටලු නොවන ලෙස සංචාරක  ව්‍යාපාරය  දියුණු  කිරීමට හැකියාව තිබෙනව. අපට එවැනි පහසුකම් ඇති කිරීමට අනුරාධපුර නගරයට පැමිණෙන සංචාරකයන් දින දෙක තුනක්‍ රැදී නොසිටීම ප්‍රශ්නය වී තිබෙනවා.”

එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ අනුරාධපුර සංචාරය සදහා පැමිණෙන  විදේශීය සංචාරකයන් වෙත නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍රය දින තුනක කාලයකට  වලංගු කර දෙන්න කියල.

මෙම ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදු වන්නේ නෑ.”

“එම පැය දෙක තුන තුළ අනුරාධපුර අටමස්ථානය ඇතුලු සුන්දර වැදගත් ස්ථාන නැරඹීමට ඔවුන්ට කාලය ප්‍රමාණවත්  නෑ. ඒ අනුව ඇතැම් විදේශික සංචාරකයන් ඉතිරිවන කාලය තුළ එම ප්‍රවේශ පත්‍ර අනුරාධපුරේ නැරඹීමට  වෙනත් විදේශිකයින් වෙත ලබා දී අවභාවිතා කරන බව අපි අනන්ත අප්‍රමාණව දැක තිබෙනව.ඒ හරහා  සිදුවන්නෙ විදේශීය  සංචාරකයන්ගෙන් රජයට ලැබෙන ආදායම අහිමිවීම.”

මීට වසර කීපයකට  පෙර  අනුරාධපුර සීගිරිය පොලොන්නරුව කියන ස්ථාන තුනම නැරඹීමට හැකියව ලැබෙන සංචාරකයන් වෙත  දින දහ හතරකට වලංගු ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුනා.යම් යම් පුද්ගලයන්ගේ පටු ආකල්ප හා වාසි තකා  එක් ස්ථානයකින් වැඩි මුදලක් ලබා ගැනීමේ චේතනාව මත ප්‍රවේශ පත්‍රය තුනට කඩා  තියෙනව. ඒ හරහා සියලුම ආයතන වලට අගතියක් සිදු වුණා මිස සුගතියක් වී නෑ.

හෝටල් හිමියන් අන්ත අසරණයි.

අපේ සංගමයේ සාමාජිකයින් එකසිය දහයකට වැඩි සංඛ්‍යාවක් මේවනවිට දැඩි ආර්ථික අපහසුතාවයට  පත්ව සිටිනව ඔවුන් ලබා ගත් බැංකු ණය හා ලීසිං වාරික  ගෙවා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටිනවා, ලැබෙන ආදායමට වඩා විදුලි දුරකථන ගාස්තු  එන්න එන්නම වැඩිවීම සම්බන්ධයෙන් අපහසුතාවයට පත්ව සිටිනව. මේ නිසා සංචාරක ව්‍යාපාරයේ නියැලි සිටින හැම කෙනෙක්ම දැඩි පීඩනයකින්. මේ තත්ත්වය හමුවේ සියලුම දෙනා මානසික ආතතියට පත්ව  ඉන්නෙ.

මේවනවිට ලබා ගත් ණය ගෙවා ගැනීමට නොහැකිවූ අනුරාධපුරේ සංචාරක හෝටල් තුනක් බැංකුවලට පවරා ගැනීමට තීරණය කොට තිබුණත්  එම සංචාරක හෝටල් පවරා ගැනීමෙන් පසු විකිණීමට නොහැකිව අදාල  බැංකුත් දැන් අර්බුදයකට පත්ව සිටිනවා.

සංචාරක ව්‍යාපාරය ගොඩ නැගීමට කටයුතු කරන බව  වත්මන්  ආණ්ඩුව කීවත් අපට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මේ මාසෙ විසි හත් වෙනිදා (27) අනුරාධපුරේ ලෝක සංචාරක දිනය සැමරීමට හෝ ඒ වෙනුවෙන් කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදාල රාජ්‍ය ආයතන වලට  මේ වනතුරු ශත පහක මුදලක් ලැබී නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සංගමයක් ලෙස උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය  සමග එක්ව ලෝක සංචාරක දිනය සැමරීමට හොටල් හිමියන් හැටියට අප බලාපොරොත්තු වෙනවා.

Exit mobile version