අනතුරට පත් කෙන්යානු නැවක් නාවික හමුදාව විසින් බේරා ගනී

සියලු යන්ත්‍ර අක්‍රීය වී දින 03ක් දකුණු මුහුදේ පාවෙමින් තිබිලා

අනතුරට පත් නෞකාව ගොඩබිමට රැගෙන එන අන්දම

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

සියළු යන්ත්‍ර සම්පූර්ණයෙන්ම අක්‍රීය වීම හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු නෞකාවක් ආරක්‍ෂා සහිතව ගොඩබිමට රැගෙන ඒමට ඊයේ (24) නාවික හමුදාව කටයුතු කළේය.

පසුගිය ජූලි 21 වන දින කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන ලද ආපදා සංඥාවකට අනුව ගාල්ල දක්ෂිණ නාවුක හමුදා කඳවුරේ මෙහෙයවීම යටතේ මෙම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට නාවුක හමුදාව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 170 ක (306 Km) දුරකින් ආපදාවට ලක් වූ මෙම නෞකාව තිබී ඇත. 

කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි කර තිබූ මෙම නෞකාව, යන්ත්‍ර අක්‍රීය වී ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ බවත් පසුගිය ජුනි 22 වන දින දකුණු කොරියාවේ බූසාන් වරායේ සිට කෙන්යාවේ මොම්බසා වරාය වෙත ගමන් කරමින් සිටියදී මෙසේ ආපදාවට ලක්ව ඇති බවත් නාවුක හමුදාව කියයි. ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුළ මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බවත් ඒ අනුව ආපදාවට පත් මෙම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කළ බවත් නාවුක හමුදාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


පසුගිය වසර (2019) තුළදී පමණක් නාවුක හමුදාව සාගරික මුදවාගැනීමේ මෙහෙයුම් 41 ක් මගින් මුහුදේදී ජීවිත 103 ක් බේරා ගැනීමට සමත්ව තිබෙන බව පැවසූ එම ප්‍රකාශකයා මෙම වසරේ (2020) ජුනි දක්වා කලය තුළ දී පමණක් මුහුදේදී ආපදාවට පත් වූ නෞකාවන් 34 කට සහය දක්වා තිබෙන බවද වැඩි දුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආපදාවට ලක් වූ කෙන්යානු නෞකාව ගොඩ බිමට රැගෙන එන ආකාරය ඉහත ඡායාරූප වල දැක්වේ.

Exit mobile version