අද තමයි මැච් එක… මේක ගහන්නම ඕන මැච් එකක්…

අද (18)  ශ්‍රී ලංකා බංගලාදේශ එක් දින තරගාලියේ තරගාවලි ජයග්‍රහණය තීරණය කරන තරගය ය.  තව පැය කීපයකින් එනම් උදෑසන 9.30ට දිවා තරගයක් ලෙස චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වන්නේය.

ක්‍රිකට්වලටත් එහා ගිය  ගනුදෙනුවක් බවට පරිවර්තනය වෙමින් ඇති තරගාවලිය උණුසුම් කරන්නට ශ්‍රී ලංකාවේ අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහත් ඉන්නේය.  වෙන කවරදාටත් වඩා කණ්ඩායම් දෙකටම මේ ජයග්‍රහණය අවශ්‍ය වන්නේ එය මේ වනවිට අභිමානය සම්බන්ධ කතාවක් බවට පරිවර්තනය වෙමින් ඇති බැවිනි.

චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරග දෙකේම ජයග්‍රහණය තීන්දු වූයේ වාසනාව මතය. පිතිකරුවන්ට යෝග්‍ය තණ තීරුවක් සහිත, පිටත පිටිය ඉතාම වේගවත් ක්‍රීඩාංගනයේ රාත්‍රීයේ විදුලි ආලෝක මධ්‍යයේ ක්‍රීඩා කරන විට මුල් පන්දු ඕවර 20න් පසු පන්දු රකින්නට සිදුවන්නේ පිතිකරණය දෙස බලා ඉන්නටය. තරග දෙකේ දීම අත් දුටුවේ  රාත්‍රී පතිතවන පිණි වරුසාවය. ඒ සමග පන්දු යවන්නන්ට පන්දුව ග්‍රහණය කරගැනීමටවත් නොහැකිවන සේ පන්දුව තෙත් වන්නේය. එතැන් සිට ඔහේ එන පන්දුවට නැව් ගුටිය.  පළමු පවර් ප්ලේ අවස්ථාවේ දි  කඩුලු තුනක් දැවී ගියද හඹායන කණ්ඩායමට ඒත්තු ගැන්වෙන පරිදි ජයග්‍රහණය කිරීමට හැකි විය.

මේ ස්වරූපය මුල් අවස්ථාවේ දී කියවාගෙන  පළමු තරගයේ දි මුලින් පන්දුවට පහරදීමේ වැරදි තීන්දුව නොගත්තා නම්  බොහෝ විට මේ වනවිට මේ තරගාවලි ජයග්‍රහණයත් අපේ වීමට ඉඩ තිබිණි.


එබැවින් සැබෑ ලෙසම ජව සම්පන්න දක්ෂ කණ්ඩායම පිළිබඳ තීරණයක් ලබා දෙන තරගය අද පැවැත්වෙන බව අපි විශ්වාස කරමු.  එහි තණතීරුව සාමාන්‍යයෙන් රටේ හොඳම පිතිකරණ තණතීරුවකි.  තවදුරටත් පින්න තීරණාත්මක  සාධකයක් නොවේ.  වේග පන්දු යවන්නන්ට සිය වික්‍රමයන් පෙන්වීමට සාධාරණ අවස්ථාවක් උදා වී ඇත.

බංගලාදේශය පැත්තෙන් ගතහොත්  පසුගිය වසරේ ඉන්දියාවේ පැවති   එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව  පසුව බංග්ලාදේශ වේගපන්දු යවන්නන්ට මෙම තරගය විශේෂයෙන් තීරණාත්මක වේ. බංගලාදේශ කණ්ඩායම දෙසැම්බරයේ නවසීලන්තයේ දී  පසුබෑමකට ලක් වූයේය. මුල් විස්සයි20 තරගාවලියේ දී සිය මවු රටේ දී ඔවුහු ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලි පරාජයක් ලැබුවේය.   දැන් බංගලාදේශයට අවශ්‍යව ඇත්තේ  ඔවුන්ගේ රටේ දී ඔවුන්ගේ ජනතාවක් ඉදිරියේ  ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ ප්‍රගතිය තහවුරු  කිරීමේ අභියෝගය ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක ඉලක්කයක් හඹා යෑම මෙන්ම ලකුණු 300කට අඩු ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කරගැනීමට කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ ඉලක්කය තිබේ.  චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි තණතීරුව මේ වනවිට ලෝකයේ ඉහළ තරගාවලි පැවැත්වෙන මට්ටම ආවරණය කළ තණ තීරුවක් බැවිනි.

ශේෂයෙන්ම වේග පන්දු යවන්නට මේ තණ තීරුව තුළ විශාල කොටසක් පැවරෙනු ඇත.  බංගලාදේශ වේග පන්දු යවන ක්‍රීඩකයින් මේ වනවිට ඉතා ජව සම්පන්න ස්ථාවරයක් ප්‍රකාශ කර තිබේ. ෂොරිෆුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් සිය විශිෂ්ටත්වය පෙන්වා ඇත.

කෙසේ වෙතත් අවසන් තරගයට පෙර කණ්ඩායම් දෙකේම තීරණාත්මක වෙනස්කම් සිද්ධ වී තිබේ. ශ්‍රි ලංකාවට ආරම්භක වේග පන්දු යවන ඩිල්ශාන් මධුශංක අහිමි වූයේය.  ආබාධයකට ලක්වූ ඔහු දෙවැනි තරගය අතර ක්‍රීඩාංගනයෙන් ඉවත් වූයේය. මස්පිඩු ඉරීමක් සහිත අභ්‍යන්තර තුවාලයකට ලක් වී සිටින ඩිල්ශාන් මධුශංක අද තරගයේ නැත.

ඊයේ උදෑසන පුහුණු සැසියක් අතර   ආබාධයට ලක්වූ බංගලාදේශ බලාපොරොත්තු සහගත වේග පන්දු යවන්නෙක්වන  ටැන්සිම් හසන් සකීබ් ද  අද තරගයෙන් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට ආදේශකය හසන් මහමුද්ය. ඔහු ඊයේ හවස කණ්ඩායම හා එක් වුනේය. බංගලාදේශ වේගපන්දු බලඇණිය තහවුරු කිරීමට ටස්කින් අහමඩ් සහා ෂොරිෆුල් ඉස්ලාම් සමග මුස්තාෆිසුර් රහ්මාන් නැවත කැඳවීමක් අපේක්ෂා කරනු ඇත. එමෙන්ම මුල් තරග දෙකේදීම අසාර්ථක වු ආරම්භක පිතිකරු ලිටොන් දාස් අවසන් තරගයේ සංචිතයෙන් ඉවත් කර තිබේ.

ඩිල්ශාන් මධුශංකගේ අඩුව පුරවමින් ලහිරු කුමාරට සහ ප්‍රමෝද් මධුශාන්ට එක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න යෝජනා වනු ඇත.

ලහිරු කුමාර වේගයෙන් පන්දු  යවන්නෙකි. ඩිල්ශාන් මධුශංක හොඳ දෝලනයක් සහිතව පන්දු යැව්ව ද ඔහුගේ පන්දු නිසි ස්ථාවර පාලනයකින් තොරය. මෙවන් පසුබිමක මුල් තරග දෙකේ දීම ආරම්භක පන්දු ඕවරයේ දීම බංගලාදේශයට ප්‍රහාරයක් එල්ල කළ ඩිල්ශාන් මධුශංක තරගාවලියෙන් ඉවත්වීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති විශාලම අභියෝගය ය. චාමික කරුණාරත්නට මේ තත්ත්වය කළමනාකරණය කරන ආකාරය තරගයේ ඉරණම තීන්දු කරනු ඇත.

මේ වනවිට මතීෂ පතිරණ ඉන්නේ ආබාධයකට ලක්වය.  දුෂ්මන්ත චමීරත්  ශ්‍රි ලංකා කණ්ඩයාමට මගහැරී ඇත. නව පන්දුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙන නුවන් තුෂාර අවසන් පන්දු ඕවරවල පන්දු යැවීම පිළිබඳ අභියෝගයක ඇත.

අපේක්ෂාව ජයග්‍රහණය ය. මේ ජයග්‍රහණය අපට වඩාත් අවශ්‍යය. ආර්ථිකය පිළිබඳ වූ පොරබැදීමේ දී බංගලාදේශයෙනුත් හොඳටම ගුටිකා සිටින රටට මෙවැනි ජයග්‍රහණයක් හෝ අස්වැසිල්ලකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයග්‍රහණ ගිලිහෙන්නට පුලුවන. අඩුම තරමින් පිළිගත හැකි පරාජයක් දැන් මේ රට අපේක්ෂා කරයි.

 

Exit mobile version