අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි!

පහුගිය 23 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවේ ගියේ උගන්ඩාවෙන් ගෙන්වන ලද පුද්ගලික ජෙට් යානයකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරවු කරයි.

ඔහු විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කරන්නේ රටේ මිනිසුන්ට වාහන වෙනුවට පයින් යෑම සඳහා යෝජනා කරද්දී, තුන්වේල වෙනුවට දේවෙලක් කන්න යෝජනා කරද්දී පුද්ගලික සංචාරයක් සඳහා අගමැතිවරයා මෙපමණ මුදලක් ඩොලර්වලින් වියදම් කරන්නේ කෙසේද යන්නය.

අගමැතිවරයාගේ දේව භක්තිය හෝ වන්දනාව පිළිබඳ තමන්ට ප්‍රශ්නයක් නොමැති නමුත් රට මේසා බරපතල අවුලකට ගොස් ඇති අවස්ථාවක තමන්ගේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්නට රුපියල්වලින් පඩි ගන්නා අගමැතිවරයා ඩොලර් උපයා ගත්තේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බව ඔහු පැවසුවේය.


Pubudu
පුබුදු ජයගොඩ

ප්‍රචාරක ලේකම්වරයා  මෙසේ ද කීවේය.

මේක අගමැතිවරයාගේ පුද්ගලික සංචාරයක් නම්  එම ගමන සිදුකළේ සාමාන්‍ය ගුවන්සේවයක ගුවන් යානයකින්   නම් ඒක වෙන කතාවක්. නමුත් අගමැතිවරයා තිරුපති ගියේ පුද්ගලික ජෙට් යානයකින්.  මේ රූපවාහිනී නාලිකාවල  දකිනකොට  පෙන්වන්නෙ එය නිල් පාට ජෙට් එකක්.   ඒක පුද්ගලික ගුවන් යානයක් විදිහට අගමැතිවරයාව තිරුපති වෙත අරගෙන ගියෙ.

මිට සමානම ජෙට් එකක් පහුගිය 16 දා රත්මලාන ගුවන්තොටුපලට ආවා. ගුවන්තොටුපල නිල ෆේස් බුක් පිටුවෙ දානවා 16 උගන්ඩාවෙ ඉඳලා තමයි මේ ගුවන් යානය එන්නේ කියලා. නිල ෆේස් බුක් ගිනුමෙ සඳහන් කරන්නෙ පුද්ගලික ගුවන් යානයක් ආවා. මේවා නිතර නිතර දක්නට ලැබෙන එක   හොඳ දෙයක් කියලා. දකින අයට හිතෙන්නේ දැන් ඩොලර් අර්බුදයට යහපතක් වෙනවා වගේ  අදහසක්.  අපට හිතෙන්නේ උගන්ඩාවෙ ඉඳන් ජෙට් අරගෙන පිරිසක් ලංකාවට ආවා වගේ හැඟීමක්. දැන් රටට ඩොලර් එනවා ඇති වගේ හැඟීමක්.

ඒත් ඊට සතියකට පස්සේ අගමැතිතුමා මේ ජාතියම ජෙට් එකකින් තිරුපති යනවා. මේක පුද්ගලික ජෙට් එකක් කිව්වට මේක කාගෙද?.  හිමිකාරිත්වය කාගෙද?

නිල් පාට ජෙට් එක…

අගමැතිවරයා දෙවියො ඇදහීම ප්‍රශ්නයක් නොවෙයි. ඔහු සාමාන්‍ය ගුවන් ගමනක් නොගිහින් ඉතාම මිල අධික පුද්ගලික ගුවන් යානයක් භාවිත කළේ ඇයි?. අහසේ අවකාශයට ඒ තරම් මුදලක් විදයදම් කළේ ඇයි. ඒ මුදල ඔහු වැය කරන්නෙ ඔහුගෙ පුද්ගලික මුදලින් ද?. පුද්ගලික මුදලින් වැය කරන්න ඔහු  ඩොලර් උපයාගෙන තියනව ද?.

සමහර අපනයන ආනයන ව්‍යාපාරවල යෙදිලා ඉන්න අය පුද්ගලික ජෙට් යානා පාවිච්චි කරනවා. ඔවුන් වැය කරන්නෙ ඔවුන් උපයා ගත්තු ඩොලර්.  අගමැතිවරයාට පඩි ගෙවන්නෙ ඩොලර් වලින් නොවෙයි.  රුපියල්වලින්.  එහෙනම් අගමැතිවරයා පාවිච්චි කරන්නෙ මොන ඩොලර් ද?.

මිනිස්සුන්ට වාහනයක යන්න එපා පයින් යන්න කියලා යෝජනා කරද්දි, තුන්වේල නොකා දෙවේලක් කන්න යෝජනා කරද්දි මේ විදිහට ඩොලර් වියදම් කරන්නෙ කොහොමද?. පුබුදු ජයගොඩ ප්‍රශ්න කර සිටියේය.

ඔහු කළ ප්‍රකාශය පහත දැක්වේ.

“වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ ශ්‍රී ලංකා අගමැතිගේ තිරුපති ගමන“ – ඉන්දීය මාධ්‍ය කී කතාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

 

Exit mobile version