අංගොඩ ලොක්කාගේ මිනීමරු ගෝලයා බැබා එස්.ටී.එෆ් එකෙන් කොටු කර ගනී

අංගොඩ ලොක්කා නැමැති පාතාල ප්‍රභලයෙකුගේ ප්‍රධානම ගෝලයෙක් වූ ක්‍රිෂාන්ත නිලංග දාබරේ නොහොත් බැබා (26) නැමැත්තා ඊයේ (06) පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ වනවිට ඉන්දියාවේ සඟවී සිටින අංගොඩ ලොක්කාගේ මෙහෙයවීමෙන් මෙම පාතාල අපරාධකරු මිනිස් ඝාතන හා ඝාතනය කිරීම්වලට තැත්කිරීම ගණනාවක් කර ඇති බවට චෝදනා ඇතැයි පොලිසිය කියයි.

මාලඹේ පිට්ටුගල ජෝතිපාල මාවතේ පිහිටි එවකට සිටි ඇමතිවරයෙක් වූ සුජීව සේනසිංහගේ ලේකම්වරයෙකුගේ නිවසට  වර්ෂ 2018 වසරේ මාර්තු 26 වෙනිදා රාත්‍රී කාලයේ වෙඩි තබා තිබුනේද මොහු විසින් බව වාර්තා වේ.


එම වෙඩි තැබීමට සතියකට පෙර අතුරුගිරියේ ගල්වරුසාව පාරේ සුපර්සෝන් නිවාස සංකීරණයට හැරෙන ස්ථානයේදී තලගලගේ නිමල් පෙරේරා නොහොත් පොඩි සුදූ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේද,   2018 වසරේ පෙබරවාරි 18 වෙනිදා තලංගම දී පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල කර ඇත්තේ ද මොහු බව විශේෂ කාර්ය බලකාය කීවේය.

 
අංගොඩ ලොක්කා සහ  ඔහු සමග ඉන්දියාවේ සිටින ලඩියා නිතරම මෙම අපරාධකරුට ජංගම  දුරකතනවලින් ඇමතුම් ලබා දෙමින් මෙහෙයවන බවත්,  ඒ උපදෙස් මත  ඔහු මත්කුඩු බෙදාහැරීම් ඇතුළු අපරාධවල නිතරව සිටින බවටත් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී ඇත.

අතුරුගිරිය ශාන්තාලෝකගම, අන්නාසිවත්ත මාර්ගයේදී මෙම සැක කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ  විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වාට ලද විශේෂ තොරතුරකට අනුවය.

ඒ වනවිට ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 120 ක්ද තිබුණු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අතුරුගිරිය ප්‍රදේශයේ මේ වන විට ආරම්භකර ඇති මහල්  නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා තමන්ගේ මෑන් පවර් ආයතනයෙන් සපයන කම්කරුවන් පමණක් යොදා ගත යුතු  බවට එම නිවාස ඉදිකිරීම්වල නිරත ආයතනවලටද මොහු විසින් තර්ජනය කර ඇතැයි  විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩිදුර විමර්ශන සදහා මෙම පාතාල කල්ලි සාමාජිකයා අතුරුගිරිය පොලිස් ස්ථානයට භාරදී ඇත.

Exit mobile version