දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි වන අලි මවක් ගොඩගෙන ඊයේ  (18)  සවස මාදුරුඔය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පිඹුරත්තෑව හා වෙහෙරගල වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

මුදා ගත් වන අලියා…

බීමට ජලය සහ ආහාර සොයා මීට දින කිහිපයට පෙර පැමිණි මෙම වන අලියා මඩ වගුරක එරි ඇති බව පිඹුරත්තෑව අඩවි  ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

අවුරුදු  හතළිහක් පමණ වයසැති මෙම වන අලියා ජේ.සී. බී, යන්ත්‍රයක් මගින් ගොඩට ගැනීමට පැයක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව වෙහෙරගල අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. වීරසිංහ   අප කළ විමසීමකදී පැවසීය.

එමෙන්ම පෙරේදා (17)   සෝමාවතිය ජාතික වන උද්‍යානයේ පිහිටි මලල් ආරු ගගේ දින කිහිපයක සිට මඩේ එරී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් අසාධ්‍ය තත්වයෙන් පසු වූ අලි මවක සහ පැටියෙක් නිරුපද්‍රිතව මඩෙන් ගොඩට ගැනීමට වනජීවී නිළධාරීහු කටයුතු කළහ.


ඇය එසේ ගොඩ ගනු ලැබුවේ දින දෙකක දීරඝ වෙහෙසකර මෙහෙයුමකින් පසුය.

මලල් ආරු ගගේ දින කිහිපයක සිට මඩේ එරී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි අලි මව මුදා ගැනීමේ මෙහෙයුම….

මහවැලි ගගේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයෙකු මෙම අලි මව සහ අලි පැටවා මඩේ එරී සිටිනු දැක ඒ පිලිබඳව සෝමාවතිය හා සුංගාවිල වනජීවී කාර්යාල නිළධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම වන අලි මව හා පැටවා බේරා ගැනීමේ මෙහෙයුමක් 15 උදෑසන දියත් කර තිබිණි.

ඒ අනුව දැඩි පරිශ්‍රමයක් දරා මුලින් මඩේ එරී සිටි වන අලි පැටවා වනජීවී නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව 15 වෙනිදා හවස ගොඩ ගනු ලැබුවේය.

කෙසේ නමුත් අලි මව මඩෙන් ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් වනජීවී නිළධාරීන් 16 වෙනිදා  සවස දැරූවද එම ප්‍රදේශයේ පැවති දුෂ්කර තත්වය හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ නොහැකියාව මත ඇය ගොඩ ගැනීමේ කටයුතු 17 වෙනිදා උදෑසනට කල් දැමිණ.

ඒ අනුව 17 වෙනිදා උදෑසනනින්ම සෝමාවතිය වනජීවී කාර්යාලයේ ,සුංගාවිල වනජීවී කාර්යාලයේ හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිළධාරී විශාල පිරිසකගේ හා පල්ලියගොඩැල්ල ගම්වාසීන්ගේ දැඩි උත්සාහය හා කැපවීම මත දින දෙකක දීර්ඝ හා දුෂ්කර මෙහෙයුකින් පසුව 17 වෙනිදා දහවල් මඩේ එරී සිටි අලි මවද ගොඩ ගනු ලැබිණි.

අසාධ්‍ය තත්ත්වයේ සිටින මුදා ගත් අලි මව….

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට බලපා ඇත්තේ දැඩි නියඟයකි. මාස පහකින් සමහර පෙදෙස්වලට වැසි ලැබී නැත.

මේ දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් වන අලි ආහාර හා ජලය නොමැතිව දැඩි පීඩාවකට ලක්ව සිටිති. එලෙස ආහාර හා ජලය සොයා පැමිණි අලි මවක හා පැටවා මෙලෙස මහවැලි ගගේ අතු ගංගාවක් වන මලල් ආරු ගගේ මඩ ගොහොරුවක දින කිහිපයකට පෙර එරී තිබිණි.

කෙසේ නමුදු දින කිහිපයක් නිරාහාරව හා ජලය නොමැතිව සිටි මෙම වන අලි මව සහ පැටවා විජලනයට ලක්ව සිටින බවත් ඒ හේතුවෙන් ඔවුන්ගේ ශරීර ශක්තිය දුර්වල වී පවතින බව වනජීවී නිළධාරීහු පවසා සිටිති.

දුර්වල තත්වයේ පසුවන මෙම වන අලි පැටවාට 16 සවස සිටම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වනජීවී නිළධාරීන් ප්‍රතිකාර කරනු ලැබූහ.

මඩේ එරී සිටි අලි බව ගොඩට ගැනීමෙන් පසු එම අලි මවට ප්‍රතිකාර කිරීමේ කටයූතු 17 දහවල් සිට ආරම්භ කෙරනි.

වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය  සමීර කලිඟුආරච්චි   ඇතුළු වනජීවී  නිලධාරි කණ්ඩායමක් එම අලි පැටියට සහ මවට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරති.

පල්ලියගොඩැල්ල ගම්මානයේ සිට කිලෝ මීටර් 10ක් පමණ ඉතා ඈත දුෂ්කර ප්‍රදේශයකදී මෙම අලි මව හා පැටවා මෙලෙස මඩේ එරී අනතුරට පත්ව සිටි අතර එම ප්‍රදේශයට ලඟා වීමට ඉතා විශාල කාලයක් හා දුෂ්කර මගක් ගෙවා දැමිමට නිලධාරීන්ට සිදු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version