උතුරු කොරියාවේ ඈත ගම් දනව්වල පවුල් පිටින් සාගින්නේ මිය යති….

ඒමන්ති මාරඹේ –

ලොව දුගී මෙන්ම හුදකලා රාජ්‍යයක්  සැලකෙන උතුරු කොරියාවේ බොහෝ වැසියන් එරට පවතින උග්‍ර ආහාර හඟගය හේතුවෙන් කුසගින්නෙන්  මිය යන බව්   විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු කොරියාවේ වාසය කරන මිලියන 26 ක් පමණවන සමස්ත ජනගහණයට ප්‍රමාණනවත් ආහාර  නිපදවීමට අපොහොසත්ව ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාවේ ජනගහණයෙන්  බහුතරයක් එරට  වත්මන් නායක කිම් ජොන්ග් උන් ගේ සීයා වන කිම් ඉල්  සුන්ග් ගේ පාලන සමයේ සිටම දරිද්‍රතාවයෙන් හා කුසගින්නෙන් පෙලෙමින්  සිටින බව අනාවරණය වී ඇතත් වත්මන් නායකත්වය 2020 වසරේ  ජනවාරි මාසයේදී කොරෝනා වසන්ගතය පැතිරිම වැලැක්වීම සදහා  සිය දේශසීමාවන්  වසා දැමිමත් සමගම ධාන්‍ය ආනයනය සීමා වී මෙම   ආහාර හිඟය තවත් උග්‍ර වී තිබේ.

උතුරු කොරියාවේ  ඈත ගම් දනව්වල වෙසෙන බොහෝ පවුල් පවතින ආහාර හිඟය මත පවුල් පිටින් කුසගින්නෙන් මිය යන බව බීබීසී පුවත් සේවය විසින් පසුගියදා  වාර්තා කර   තිබිණි.


මෙවැනි තත්ත්වයක්  පැවතියදීත් උතුරු කොරියානු පාලනය එම තත්ත්වයට පිලියම් නොයොදා රටේ න්‍යෂ්ටික  වැඩපිළිවෙළ වර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් හා ආර්ථික සම්පත් යෙදවීම හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වෙමින් පවතී.

ඉකුත් 2022 වසරේදී උතුරු කොරියාව විසින් ඇමරිකානු  ඩොලර් මිලියන 500 කට අධික මුදලක් වැය කරමින් බැලිස්ටික් මිසයිල  63 ක් ගුවන්ගත කර  ඇති බව හෙලි  වී ඇති අතර එය  එරටට වසරකදි ධාන්‍ය  ආනයනය  කිරීම සඳහා වැයවන  මුදලට වඩා වැඩි මුදලකි.

වසර 2020 ජනවාරි මාසයේදී  කොරෝනා වසන්ගතය  සමගම  චීනය සමග සම්බන්ධවන  දේශසීමාව වසා දැමීම හේතුවෙන්  චීනයෙන් ආනයනය කෙරෙන සහල් ඇතුළු ධාන්‍ය  වර්ග මෙන්ම කෘෂි  භෝග වගාවන්ට යොදන පොහොර හා කෘෂි උපකරණ   ආනයනය නතර වී තිබිණි.

එම තීන්දුව  උතුරු කොරියාවට එල්ල වු මරු පහරක් වූ අතර එය   එරට දරිද්‍රතාවයෙන් හා  මන්දපෝෂණයෙන් පෙලෙන ජනගහණය වැඩි වීමට මුල් වු බව විද්වත්හු  පවසති.

උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් උන් එරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ  පියවර ගනිමින් ආහාර හිඟය මගහැරීමට   අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දී ඇතත් එම තත්ත්වයෙන් මිදීමට  එරටට තවමත්  හැකි වී නැත.

නොබෝදා බීබීසී පුවත් සේවය උතුරු කොරියානු වැසියන් උපුටා දක්වමින් වාර්තා කර තිබුනේ ඇතැම් ගම්වල එකම පවුලේ සාමාජිකයන් සියල්ලම ආහාර හිඟය හේතුවෙන්  මිය ගොස් ඇති බවයි.

මෙම තත්ත්වය 1994-1998 කාලය තුළ  උතුරු කොරියාවේ හටගත් උග්‍ර දරිද්‍රතාවය  හා සාගතයට සමාන වන අතර එම තත්ත්වය  මත අදාළ  වසර හතර තුළදී  උතුරු කොරියානු වැසියන් දෙලක්ශ හතලිස් දහසකට වැඩි ප්‍රමාණයක්    මියගොස්  ඇති බව වාර්තා  වී තිබිනි.

.විද්වතුන්ට අනුව වර්තමානයේ  හටගෙන ඇති තත්ත්වය  ඒ හා සමාන ව්‍යසනයක් වීමට බොහෝ විට ඉඩ තිබේ.

කෙසේ වුවද විදෙස් මාධ්‍යයන්ට  පනවා ඇති සීමාවන් හේතුවෙන් උතුරු කොරියාවේ දැනට පවතින සැබෑ තත්ත්වය නිවැරැදිව දැන ගැනීම අසීරු වී තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


්‍

Exit mobile version