සංගා සම්බන්ධක් නැති අයි.සී.සී. මුල් පුටුවට ලොක්කෙක් පත් වන හැටි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ සභාපති පුටුව සඳහා කුමාර් සංගක්කාරව යෝජනා වී ඇති බවට පසුගිය කාලය පුරාම කතාවක් පැතිරුණේය. එහෙත් කුමාර් සංගක්කාර කීවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සභාපතිකම ලැබෙන්නේ ආරාධනයකින් නොව, නිශ්ඡිත ක්‍රමවේදයක් තුළ බවය.  ඒ වැනි වගකීමක් සඳහා තමන් සූදානම් වී නැති බවය.

අයි.සී.සී. මුල් පුටුව ගැන අප මෙවර කෙටි විමසීමක් කරන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි. මේ වනවිට අයි.සී.සී, මුල් පුටුවට තුන්කොන් සටනක් නිර්මාණය වී ඇත.  ඉන්දියාවේ සව්රව් ගංගුලි, බටහිර ඉන්දීය කොදෙව් හී ඩේව් කැමරන් සහ එංගලන්තයේ කොලින් ග්‍රේව්ස් අදාළ සභාපතිත්වය සඳහා යෝජනා වී තිබේ.

වත්මන් ඉන්දියානු ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලිට එරට ක්‍රිකට් සභාපතිත්වය තවත් දීර්ඝ කර ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එහි තීන්දුව අනුව ඔහු අයි.සී.සී. සභාපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තීරණය වනු ඇත. යම් හෙයකින් ගංගුලිට අධිකරණයෙන් තීරණයක් ලැබුණහොත් ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් සේවය කිරීමට ඔහු අයි.සී.සී. සභාපති තරගයෙන් ඉවත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ශෂාන්ක් මනෝහර් යළිත් අදාළ තනතුරට තරග කිරීමට තීරණය නොකිරීමත් සමග ඔහු එංගලන්ත වේල්ස් ක්‍රිකට් සභාපති කොලින් ග්‍රොව්ව මීළඟ අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් යෝජනා කර තිබේ. නමුත් ගංගුලිට ඉන්දියානු ක්‍රිකට් මහ පුටුව අහිමි වුවහොත් අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් ඔහු මනෝහර්ගේ අනුප්‍රාප්තිකයා විය යුතු බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධානි ග්‍රැහැම් ස්මිත් පවසා තිබේ.

කෙසේ වෙතත් අයි.සී.සී මිළඟ සභාපතිවරයා වීමට මේ වන විට තුන්කොන් සටනක් නිර්මාණය කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ඩේව් කැමරන් ඉදිරිපත්ව තිබේ.  කැමරන්ව අයි.සී.සී. ප්‍රධානියා වශයෙන් නම් කරන ලෙස මනෝහර්ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

2013 වසරේ සිට 2019 වසර දක්වා බටහිර ඉන්දීය කොදෙව් හී ක්‍රිකට් සභාපතිවරයා වු කැමරන් පවසන්නේ, ‘කුසලතා තුළින් කණ්ඩායම්වලට උපයා ගත හැකි තිරසාර මූල්‍ය ආකෘතියක් අප විසින් සොයාගත යුතු යැයි මා විශ්වාස කරනවා. ඉන්දියාව, ඔස්ට්‍රෙ‍ලියාව සහ එංගලන්තයට විශාලතම ආර්ථිකයක් සහ ප්‍රේක්ෂකයන් ඉන්නවා. නමුත් කුඩා රටවල් සැමවිටම මූල්‍ය සහයෝගය සඳහා අයි.සී.සී.ය වෙත පැමිණිය යුතුයි.” යැයි කැමරන් සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් 2018 වසරේදී දෙවැනි වරටත් පත්වු ශෂාන්ක් මනෝහර්ගේ නිල කාලය මේ වසරේදී අවසන් වීමත් සමග අයි.සී.සී.ය මීළඟ සභාපතිවරයා පත්කරන රැස්වීම ජුලි මස මැද භාගයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී විස්සයි විස්ස ලෝක කුසලාන සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට අයි.සී.සී.ය බලාපොරොත්තුවෙන් පසුවේ.

අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් පත්වීමට බලාපොරොත්තුවන කැමරන් පවසන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග වසරක් තුළදී ක්‍රීඩා කරන විට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවකට තරග වැදිය හැකි ආකෘතියක් සකස් කිරීමට බවද සඳහන් කරයි. කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කර තිබියදී මීළඟ සභාපතිවරයාට එය ගොඩ ගැනීමේ වගකීම පැවරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මනෝහර්ගෙන් පසුව අයි.සී.සී. සභාපතිවරයා වීමට බලාපොරොත්තු තබා ඇති කැමරන්, ගංගුලිද සහ කොලින්ගෙන් කවුරු තනතුරට පත් වුවත් විශාල වගකීමක් ඉදිරියේදී ගෝලීය ක්‍රිකට් වෙනුවෙන් කිරීමට සිදුවීම අනිවාර්ය සාධකයකි.

Exit mobile version