වැරදි ලෙස පාදය තබා යවන නිපන්දු තීරණය කරන බලය තෙවැනි විනිසුරුට…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පන්දු යවන්නකු සීමා ඉර ඉක්මවා වැරදි ලෙස පාදය පතිත කරවමින් යවන නිපන්දුව සංඥා කිරීමේ අයිතිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට  තෙවැනි විනිසුරුට   ලබාදීමට තීරණය කර තිබේ.  ඊයේ (05 දා) මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හී ආරම්භ වු  එංගලන්තය සහ පාකිස්තානය අතරටෙස්ට් තරගයේදී එම නීතිය ක්‍රියාත්මක වන්නේය.
පන්දු යවන්නන් විසින් නියමිත සීමාවන් අභිබවා පන්දු යවන අවස්තාවේදි ප්‍රධාන විනිසුරුවරයා විසින් මෙතෙක් කල්  නිපන්දුව සංඥා කළේය. නමුත් තාක්ෂණික ඉඩකඩ ක්‍රීඩාවට එක් කරගැනීම සඳහා කෙරන   අත්හදා බැලීමක් වශයෙන් මෙම ප්‍රවේශයට එළඹෙන්නට තීරණය වී තිබේ.  ඒ අනුව ඉදිරිපාදයෙන් සීමාව අභිබවා පන්දු යවන්නන් යවන නිපන්දුව තත්ත්වය කිහිපයකින් පිටිය මැද විනිසුරුවරුන්ට දැන්වීමට තෙවැනි විනිසුරු කටයුතු කරනු ලබයි. දැන් ක්‍රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරි තරග සඳහා ද නිපන්දුව සංඥා කිරීමේ බලය තෙවැනි විනිසුරු ලබාදීමට අයි.සී.සී. ප්‍රධාන විධායක කමිටුව අදහස් කරගෙන ඇත.
මෙවැනි පියවරක් ගැනීමට හේතුවක් ලෙස අයි.සී.සී.ය දක්වන්නේ 2018 දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ ටෙස්ට් තරගාවලියේදී ඕවර විසිපහක් තුළදී විනිසුරුවන්ට නිපන්දු 12 ක් මගහැරී ඇති බවය.  එමෙන්ම  පසුගිය වසරේ ඔස්ට්‍රෙලියාව සහ පාකිස්තානය අතර පැවැති ටෙස්ට් තරගාවලියකදී සැසි දෙකකදී නිපන්දු 21 ක් මග හැරී ඇති බව ද අයි.සී.සීය දක්වයි.  පාදය වැරදි ලෙස පතිත කිරීමෙන්  යවන නිපන්දුව තීරණය කිරීම සඳහා ඉදිරියේදී සියලුම ටෙස්ට් තරග වෙනුවෙන්  තෙවැනි විනිසුරුගේ සහාය ලබා ගැනීමට අයි.සී.සී. අදහස් කර ඇත.

 

Exit mobile version