පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක විශිෂ්ට ජයක්!

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.  ඒ ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්න ලකුණු 160කට දැවී යාමත් සමගය.

ඊයේ (24) දිනය නිමාවන විට කොදෙව්වෝ කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන තිබුණහ. සියල්ලන්ම අපේක්ෂා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු සියයට  අඩුවෙන් දෙවැනි ඉනිමේ දී දැවී යනු ඇති බවය. එහෙත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් සටන් කාමී ඉනිමක් ක්‍රීඩා කළ න්කෘමා බොනර් සහ ජෝෂුවා ද සිල්වා 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර 45කට මුහුණ දී  ලකුණු 100ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  ජොෂුවා අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහු ඒ සඳහා පන්දු 129කට මුහුණදුන්නේය.   හතරේ පහර 5ක් එල්ල කළේය. අද දිනයේ මුලින්ම දැවී ගියේ ජොෂුවාය.

ඔහුගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රකීම් කෝන්වොල් ද පිටියේ රැඳී සිටීමට දැඩි උත්සාහයක් දැරීය. නමුත්  ඔහු ලකුණු 13කට දැවී ගියේය.


අනතුරුව අවසන් කඩුලූ දෙක ලෙස ජොමෙල් වැරිකන් සහ ෂනොන් ගේබ්‍රියල් ව ඉක්මණින් දවා ගැනීමට ලසිත් ඉඹුල්දෙනිය සමත් විය.

ලසිත් ඇඹුල්දෙණිය යළිත් ටෙස්ට් ඉනිමක කඩුලු 05ක් වාර්තා කළේය. ඔහු  කඩුලු 5ක් දවාගත්තේ ලකුණු 45කටය. ලසිත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් සිව් වැනි අවස්ථාව මෙයය.  රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුලු 04ක් දවා ගත්තේය.

කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ  න්කෘමා බෝනර් නොදැවී ලකුණු 68ක් රැස් කළේය.

පළමු ඉනිම වෙනුවෙන්   ශ්‍රී ලංකා කණ්ඩායම  386ක් රැස් කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  සුපිරි ලකුණු 147ක් රැස් කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් වූයේය.  පැතුම් නිශ්ශංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුනු 61ක්,  දිනේෂ් චන්දිමලා ලකුණු 45ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කළහ.

පළමු ඉනිමේ දී  කොදෙව්වන් වෙනුවන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොස්ටටන් චෙස් ලකුණු 83කට කඩුලු 05ක් බිඳ හෙළුවේය. ෂැනොන් ගේබ්‍රියල් කඩුළු  02ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 03ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස පළමු ඉනිමේ දී  බටහිර ඉන්දීය කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.පළමු ඉනිමේ  පන්දු යැවීමේ දී  ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40ට කඩුළු 04ක් දවාලූයේ ය.

ලකුණු 156ක් ඉදිරියෙන් සිට  දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සාර්ථක වූයේ නැත . ඔහු ලකුණු 3කට දැවී ගියේය.  පළමු කඩුල්ලෙන් පසු පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දුත් ලකුණු 14කට දැවී ගියේ.

අනතුරුව දිමුත් කරුණාතරත්න සහ ඈන්ජලෝ මැතිව්ස් අතර ලකුණු 123ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගිනි. දිමුත් කරුණාරත්න ලකුණු 83කට දැවී ගියේය. මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය.

සිව්වන කඩුල්ල ලෙස ධනංජය සිල්වා එක් ලකුණකට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 191කට ඉනිම අත් හිටවනු ලැබුවේය. පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 347ක් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් හිමි වූයේය. 348ට පිළිතුරු සොයා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියල්ලන්ම ලකුණු 160කට දැවී ගියේය.

Exit mobile version