තරගාවලිය පරාදයි… පෙනි පෙනී තිබූ ශ්‍රී ලංකා ජයග්‍රහණය දීපාක් චහාර් උදුරා ගනී.. ඉන්දියාවට කඩුළු 03ක ජයක්

තරගය පැරදුණ බව සැබෑය. නමුත් කලකට පසු ක්‍රීඩා ලෝලීහු ක්‍රිකට් තරගයක් නැරඹුහ. මුලින්ම ඒ බව ලියා තැබිය යුතුය.

ඉන්දියාව කඩුලු තුනකින් ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබිය දී ලංකාවේ දී ඉන්දියාව තරගාවලියම ජයග්‍රහණය කරමිනි. වාර්තාගත තරග පරාජයට තවත් තරගයක් එක් විය.

ජයග්‍රහණය තිබුණේ ලංකාවේ අත් මායිමේය. ඉන්දියාව ලකුණු 193කට කඩුලු 7ක් බිඳවැටුණු අසරණ අඩියක සිටියේය. එහෙත් අටවන කඩුල්ල වෙනුවෙන් දීපාක් චහාර් සහ බුවනේෂ් කුමාර් කදිම ඉනිමක් ක්‍රීඩා කළේය. ඒ 8 වන කඩුල්ල වෙනුවෙන් ඉනිම හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 විශිෂ්ට සම්බන්ධතාවයක් පවත්වමිනි. ක්‍රිකට් එසේය.

තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙනා පන්දු යවන්නා වනිඳු හසරංගය. වනිඳු ආරම්භක කඩුලු දෙක අතුළු කඩුළු තුනක් ලබා ගන්නේ ලකුණු 37කටය. ඔහුට අවශ්‍ය ගෞරවය දෙමින් අවබෝධාත්මකව පිතිකරණයේ යෙදුණු චහාර් අනෙක් පන්දු යවන්නන්ගේ දුර්වල පන්දුවලට දිය යුතු පිළිතුරු ලබා දුන්නේය.


චහාර් පන්දු 82කදී ලකුණු 69ක් නොදැවී රැස් කළේය. ඒ ඉන්දීය ඉනිමේ එකම හයේ පහර සහ හතරේ පහර 7ක් සමගිනි. බුවනේෂ් කුමාර් පන්දු 28ක දී ලකුණු 19ක් ලබා ගත්තේය.



ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තියුණු අවස්ථා මගහැරිනි. දුෂ්මන්ත චමීර වෙනුවෙන් නිසි ලෙස පිටිය සකස් කර තිබුණා දැයි සැක ඇති විය. පිත්තේ අතරින් පතර වැදෙන පන්දු හතරේ සීමාව ඉක්මවා ගියේ පන්දු යවන්නාට කළ හැක්කක් නොතබමිනි. වාසනාව ඉන්දියානු පිල පැත්තේ තිබෙනු පෙනුණි. ඕවර 49යි පන්දු 1 තිබිය දී තරගය නිමා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තේය. කදිම ආම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භාණුක පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධයක් ගොඩනැගූහ. 13 වැනි පන්දුවාරයේ දී මිනෝද් ලකුණු 36කට දැවී යන්නේය. ඔහු ඒ ලකුණු ප්‍රමාණය රැස් කරන්නේ පන්දු 42කටය.

අනතුරුව පිටියට පැමිනෙන භාණුක රාජපක්ෂ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

චරිත් අසලංක පන්දු 68ක දී ලකුණු 65ක් ලබා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 71ක දී ලකුණු 50ක් ලබා ගත්තේය. චාමික කරුණාරතන් පන්දු 33ක දී ලබා ගත් ලකුණු 44 ලංකාව බලාපොරොත්තු සහගත තැනක තැබුවේය. ඔහු දෙවන තරගයේ දීත් අර්ධ ශතකයට පැමිණියේය.

ඉන්දියාව වෙනුවෙන් ලකුණු 54කට කඩුළු 03ක් ලබා ගැනීමට බුවනේෂ් කුමාර්ට හැකි විය. දීපාක් චහාර් ලකුණු 53කට කඩුළු 2ක්, යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 50ට කඩුළු 03ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු සූරියකුමාර් යාදේව් ලකුණු 53ක් ලබා ගත්තේය. හර්දික් පාන්ඩ්‍ය ලකුණු 35ක්, මනිෂ් පාණ්ඩ්‍ය ලකුණු 37ක් කෘනාල් පාන්ඩ්‍ය ලකුණු 35ක් හා ශිකර් දවාන් ලකුණු 29ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් තුන්ඉරියවු ක්‍රීඩකයෙක් යනු කවරෙක් ද, වගකීම් සහිත මැද පෙළ පිතිකරුවෙක් තරගයක් නිමා කරන්නේ කුමණ ආකාරයෙන් ද යන්න දීපාක් චහාර් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විටෙක අවිනීත පන්දු යැවීමක් කළා දැයි සිතෙන්නේ තරගය අවසානයේ අතිරේක ලකුණු දකින විටය. ලකුණු 21ක් අතිරේක ලකුණු විය. ඉන් 16ක්ම වයඩ් පන්දුය.

රට තුළ දී විලි ලජ්ජාවෙන් බේරෙන්නට තව එක් අවස්ථාවක් තිබේ. ඒ අවස්ථාව දෙස ක්‍රීඩා ලෝලීහු බලාගෙන සිටිති.

Exit mobile version