ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට… දඹුල්ල ජයන්ට්ස් ලකුණ  23කින් පරදී…

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති අවසන් වටයේ තෙවැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23 කින් පරදා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21) සමත් විය.

මෙතෙක් මෙම තරගාවලියේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්ම අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ සිය මංගල 20 යි 20 ශතකය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ ය.

තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 211 ක ඉලක්කය හඹා ගිය ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.


හුදෙකලා සටනක නිරත වූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්න සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47 කින් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තේය.  .

ඊයේ පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ තරග 3 ම දෙවනුවට පන්දුවට පහර දී පරාජයට පත්ව සිටීම නිසාය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 210ක් ලබා ගත්තේ කඩුලු 4ක් දැවී සිටියදීයි. එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

කිංග්ස් ඉනිමේ පළමු කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 122ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එය එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා වාර්තා වූ හොඳම සබඳතාවය  වූයේය.

ගුර්බාර් පන්දු 40කින් වේගවත් ලකුණු 70ක් ලබා ගත්තේය.   ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් ලබා ගත්තා. ඒ සඳහා ඔහු හයේ පහර 4කින් හා හතරේ පහර 10ක් එල්ල කළේය.

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබ තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ තරගයෙන් ලැබූ ජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී හෙට (23) තරග වැදීමට නියමිතයි.

 

Exit mobile version