එල්.පී.එල්. මාර්ගෝපදේශ සූදානම්… තරග සංවිධානයට ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි…

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශක අලුතින් සකස් කරමින් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය ලැබීම ප්‍රමාද වීමෙන් තරගාවලියේ සංවිධායකයන්  ගැටලුවකට මුහුණ දී ඇත.

ඒ අනූව මෙතෙක් අලුතින් සකස් කරන ලද මාර්ගෝපදේශක නොලැබීමෙන් තරගාවලිය ලබන 26 වැනිදා පැවැත්වීම සම්බන්ධවද ශ්‍රී ලංකා ක්‍රිකට් දෙගිඩියාවකින් පසුවේ. එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න   පවසා සිටියේ ‘  සෞඛ්‍ය මාර්ගෝපදේශක ලැබෙන තුරු ස්ථිර දිනයක් කියන්නත් බැහැ ක්‍රීඩකයන්ට පුහුණුවීම් කරන්න කියන්නත් බැහැ’ යනුවෙනි.

ඉකුත් බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපතිවරයා එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම සම්බන්ධව එකඟතාව පළ කර තිබිණි.


මේ අතර එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශක ඊයේ (08 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  පැවසීය.

“අපි තරගාවලිය පවත්වන්න අවශ්‍ය මාර්ගෝපදේශක ඉක්මනින්ම ලබාදුන්නා. නමුත් එතන තිබුණු කරුණු කිහිපයක් සංශෝධනය කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීම නිසා තමයි ආයෙත් එකක් හදන්න වුණේ. ලේකම්වරයා ඊයෙ (08) ඒක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලැබීමට සැලැස්සුවා.” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන එල්.පී.එල්. තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදුව ඇත්තේ නිරෝධාන කාල සීමාව පමණි. තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන් දින 14 ක නිරෝධාන ක්‍රියාවලියකට යටත් වීමට අකමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ් 19 කමිටුව අතර පැවැති සාකච්ඡාවේදී එය දින හත දක්වා ලඝු විය. ඒ අනුව ක්‍රීඩකයන්ට දින හතක්ද අනෙකුත් සාමාජිකයන්ට දින 14 ක් වශයෙන් අදාළ මාර්ගෝපදේශන සංශෝධනය වීමට සිදුව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් වාර්තා වන අන්දමට දින හතකට එකඟ වූ මාර්ගෝපදේශක යළිත් දින 14 දක්වා සඳහන් වීම සහ යළිත් දින 10 දක්වා සඳහන් වීමෙන් අදාළ ප්‍රමාදයන් සිදුව තිබේ.  කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ සියලුම තරග සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

 

 

Exit mobile version