එල්.පී.එල් තරග පවා දෙන්න යෝජනා කළ හිටපු ක්‍රීඩකයාගේ ඉරණම නීතිපති අතේ

එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ආරම්භක පිතිකරුවෙකුට  හා කළම්බො කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ යොවුන් දඟ පන්දු යවන්නෙකුට මුදලට තරග පාවා දීමේ යෝජනා කළ බවට චෝදනා ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කර ඇති  පොලිස් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හිටපු ක්‍රීඩකයා  තරග පාවාදීමේ යෝජනාව තමන්ට ගෙනා බව  ඉහත ක්‍රීඩකයන් දෙදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කර ඇත. අයි.සීසී දූෂණ මර්දන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලෙස මෙරට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත යොමු කර ඇති අතර ඒ අනුව විමර්ෂණ ආරම්භ වී ඇත. මෙම විමර්ෂණවලදී අදාළ ක්‍රීඩකයන් දෙදෙනාගේ ජංගම දුරකථනවලට මේ යෝජනාව සම්බන්ධයෙන්  විදේශ දුරකථන ඇමතුම් කිහිපයක් ද  ලැබී තිබෙන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව සිදු කළ සම්පූර්ණ විමර්ෂණයට අදාල තොරතුරු වාර්තාව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි නීතිමය පියවර සිදු කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයා  ක්‍රීඩා කරන අවධියේ විශිෂ්ට දක්ෂතා පෙන්වා පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ඇති වූ ගැටලුවක් නිසා ක්‍රීඩාවෙන් ඉවත් වූ අයෙකි.

Exit mobile version