ඉතාලි ඔලිම්පික් කමිටුව හොබවන ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක තනතුරකුත්

කැළුම් පෙරේරා

සදෙව් රත්නායක 

ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයකු  ලැබූ ඉහළම ගෞරවය අත්කර ගැනීමට ශ්‍රී ලාංකික තරුණයකු වන කැලුම් පෙරේරා සමත්වී තිබේ. ඉතාලියේ උපන් 36 හැවිරිදි මේ තරුණයා එරට ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කොමිසමේ උපසභාපතිවරයා වන අතර ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කරමින්  සිටී. 

කැළුම් පෙරේරා

ඉතාලි ඔලිම්පික් කමිටුවේ නිලයක් හොබවන ළාබාලතම පුද්ගලයා ද ඔහුය. එමෙන්ම එරට ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන එකම විදෙස් ජාතිකයා ද කැලුම් පෙරේරාය. ඔහු ඉතාලි ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරනු ලබන්නේ 2009 වසරේ සිටය.

ක්‍රීඩා අමාත්‍යාංශයක් නොමැති ඉතාලියේ දසදහසක් පමණ වන ක්‍රීඩා සමාජ හා මිලියන දහයකට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වගකීම කරපින්නා ගත් එරට ඔලිම්පික් කමිටුවේ නිලතලවලට පත්වන්නේ ඡන්ද විමසීමකිනි. එම ගෞරවනීය තත්ත්වයට පත්වීමට වැඩිදෙනෙකුගේ විශ්වාසය දිනාගත යුතුව තිබෙන අතර කැලුම් පෙරේරාට එම අවස්ථාව ලැබීම විශේෂත්වයකි. ඔහු ඊට පෙර ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රබල සාමාජිකයකුව සිටියේය. 


කැළුම් ඉතාලියේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි අවධිය..

කැලුම් පෙරේරා උපන්නේ ඉතාලියේය. ඔහුගේ පියා කුමාරදාස පෙරේරා සහ මව අශෝකා ඉතාලියට සංක්‍රමණය වී ඇත්තේ 70 දශකයේ අගභාගයේදීය. ඔහුගේ පියා මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ  කැපී පෙනෙන ක්‍රීඩකයකුව සිටි අතර, ආනන්ද විදුහලේ පළමු පෙළ ක්‍රිකට් පිලේ දස්කම් දැක්විමෙන් පසු වෙළෙඳ සේවා ක්‍රිකට්  තරග බිමේ විශිෂ්ට දස්කම් අතර සිටි අයෙකි. පිතිකරුවකු ලෙසත්, කඩුලු රකින්නකු ලෙසත් පියා දැක්වූ ක්‍රිකට් දස්කම් කැලුම් පෙරේරාගේ ක්‍රිකට් දිවියට ද බෙහෙවින් බලපෑවේය.

ඉතාලියේ ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කළ කැලුම් පෙරේරා එරට අවුරුදු 15න් පහළ, 17න් පහළ, 19න් පහළ සහ 23න් පහළ ජාතික කණ්ඩායම්වල නායකයා ලෙසත් කටයුතු කර තිබේ. අනතුරුව වසර කිහිපයක් ඉතාලි ජාතික ක්‍රිකට් පිලේ සාමාජිකයකු ලෙස කටයුතු කළ කැලුම් පෙරේරා 2010දී ක්‍රීඩාවෙන් සමුගත්තේ පරිපාලනය තුළින් වැඩි සේවයක් ලබාදීමේ අරමුණ ඇතිවය. 

අනතුරුව 2012 සිට 2016 දක්වා කාලයේදී ඉතාලි ජාතික ක්‍රිකට් පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ කැලුම් පෙරේරා 2016 සිට මේ වසරේ මුල් භාගය දක්වා ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර ඒ කාලය තුළ ඉතාලි ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙසත් සිය දායකත්වය ලබා දුන්නේය. ඒ අතරතුර කාලයේ එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සිය ක්‍රිකට් දස්කම් මුවහත් කරගත්තේය.

කැලුම් පෙරේරා ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වූයේ මේ වසරේදිය. ඔහු ලොව පිළිගත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහෙවනු ලබන තුන්වැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු පාඨමාලාව ද සාර්ථකව හදාරා සහතිකලත් අයෙකි. 

‘මම අධ්‍යාපනය ලැබුවේ ඉතාලියේ. පොඩි කාලේදීම මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ මගේ තාත්තා. මගේ ක්‍රිකට් දිවිය ඔප්නැංවීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් වන ජේ.සී.ගමගේ, නිරෝෂන් රාමනායක (චම්පක රාමනායකගේ සොයුරා) වගේම අනූෂ සමරනායකත් විශාල සහයෝගයක් ලබා දුන්නා.‘ ඔහු කීවේය. 

‘ඉතාලි ඔලිම්පික් කමිටුවට සාමාජිකයන් පත්වෙන්නේ ඡන්දයෙන්. තනතුරුවල සිටින හැමෝම වගේ ඔලිම්පික් පදක්කම්ලාභී ඉතාලි ජාතිකයන්. ක්‍රීඩා අමාත්‍යාංශයක් නැති නිසා ඔලිම්පික් කමිටුව තමයි ඉතාලියේ ඉහළම ක්‍රීඩා පරිපාලන ආයතනය වෙන්නේ. ඉතින් තරුණ කාලයේදීම මට මේ ගෞරවනීය තනතුරු ලැබීම ආඩම්බරයක්. ඒ වගේම මම හරි වාසනාවන්තයෙක්. ඉතාලි ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මගේ සමීපතම හිතවතෙක්. ඔහු විවිධ කටයුතුවලට මගේ උපදෙස් ලබා ගන්නා අවස්ථාවන්ද තිබෙනවා. ඔහු මා අමතන්නේ ‘ප්‍රොෆෙසර්‘ කියායි.‘ කැලුම් පෙරේරා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


25 හැවිරිදි වියේදී මුලින්ම ඉතාලි ඔලිම්පික් කමිටු සාමාජිකත්වය ලැබූ කැලුම් පෙරේරා මේ වනවිට අඛණ්ඩව තුන්වැනි වරටත් කමිටු සාමාජිකත්වය ලබා සිටින අතර ඉදිරියේදී ඉතාලි මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් ලබාදීමට බලාපොරොත්තු වෙයි. 

 

Exit mobile version