ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

ත්‍රිමාණ මුද්‍රණය නැතිනම් ත්‍රී ඩි ප්‍රින්ටින් (3D printing) පිළිබඳව අද ලෝකයේ පුළුල් සංවාදයක් ඇතිවී තිබේ. කොරෝනා වසංගත සමයේ රෝගීන් ගණන බලාගෙන සිටිද්දි ඉහළ යද්දී දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරෙද්දී නිර්මාණය වූ වෛද්‍ය උපකරණ සහ අමතර කොටස් හිගය ඉක්මනින් පියවූ එක් තාක්සණයක් වූයේ  ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයි.එම යන්ත්‍ර  උපයෝගී කරගනිමින් විවිධ උපාංග නිර්මාණය කිරීම නිසා ලෝකය දැන් දැන් ත්‍රිමාණ මැවුම් පිළිබඳව වැඩි වැඩියෙන් උනන්දු වන බවක් පෙනෙන්නට තිබේ. තවමත් වැඩිදියුණු වෙමින් මූලික අදියරේ පමණක් පවතින මෙම ත්‍රිමාණ තාක්ෂණය පිළිබඳ සංකල්පය මුලින්ම ලොවට කීවේ ශ්‍රි ලංකාව තම දිව්‍ය ලෝකය බවට පත් කරගෙන සිටි අසහාය විද්‍යා ප්‍රබන්ධ ලේඛක ශ්‍රිමත් ආතර් සි ක්ලාක්ය.

ආතර් සි. ක්ලාක්

මෙම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය වැඩි වශයෙන්ම භාවිත කළ වකවානුව වර්තමානයයි. කොරෝනා වසංගතයත් සමඟ පැමිණි දුෂ්කරතා හමුවේ  බොහෝ තාක්ෂණවේදීන් ත්‍රිමාණ මුද්‍රණ ඇසුරින් කළ හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් දුන් බව පෙනේ.

නිදසුන් ලෙස පවසන්නේ නම් පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ වුහාන්හි වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් ආරක්ෂක කන්නාඩි නිපදවීය. ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර 50ක් යොදා ගනිමින් දිනකට කන්නාඩි 300 බැගින් නිෂ්පාදනය කිරීමට එම නිෂ්පාදකයින් සමත් විය.


ඇමරිකාවේ NIH ආයතනය වෛද්‍යවරුන්ට අවශ්‍ය ප්ලාස්ටික් මුහුණු ආවරණ, ශ්වසන උපාංග කොටස් ඇතුළු අතවශ්‍ය උපකරණ ගණනාවක් මෙම තාක්ෂණය ඔස්සේ නිපදවිය

මෙම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බහුලව භාවිතයට ගනු ලබන බව පැවසේ. විශේෂයෙන්ම ඔවුනට අභ්‍යවකාශයේදී අවශ්‍ය ඇතැම් උපකරණ මෙම 3D printers මගින් සාදා ගැනීම ප්‍රකට කරුණකි. ඔවුන් එහිදී වැඩි වශයෙන් භාවිතයට ගන්නේ SLEDM හෙවත් ලෝහ උණුකොට උපකරණ බවට පත්කරන තාක්ෂණයයි.

3D printing යනු සරලව හැඳින්වුවොත්  පරිගණකයකින් ලබාදෙන සටහනකට අනුව සිදුවන ත්‍රිමාණ  නිමාවකි. එය තාක්ෂණික භාෂාවෙන් හඳුන්වන්නේ CAD ( computer-aided 3D design ) ලෙසය. මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ ඉතාම කෙටි කාලයක් තුළ උපකරණ නිමවා ගැනීමට ඇති හැකියාවය.

SLEDM තාක්ෂණය අනුව ලෝහමය පවුඩර් විශේෂයක් ද්‍රව බවට පත්කොට අවශ්‍ය උපකරණයේ දළ සටහන පරිගණකය මගින් තෝරා විදානය දුන් සැණින් එම උපකරණය ඉතා කෙටි කාලයක් ඇතුලත නිෂ්පාදනය කරගත හැකිය. වෙනදා කර්මාන්තශාලා තුළ දීර්ග ක්‍රියාවලියක් යටතේ උපාංග ගණනාවක් සහ මිනිස්  අතින්  නිෂ්පාදනය වූ උපකරණ එක් විධානයකින් එක යන්ත්‍රයකින් නිෂ්පාදනය කරගත හැකි වීම තාක්ෂණයේ විස්මසහගත බව පෙන්වන එක් අවස්ථාවකි. අද වනවිට නිවාස ව්‍යාපෘති ඉදිකිරීම දක්වා මෙම තාක්ෂණය දියුණු වී තිබේ.

ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳව බටහිර ලෝකය වැඩි වශයෙන් උනන්දු වන්නට ගත්තේ 60 සහ 70 යන දශකයන්ගේදීය. කෙසේවෙතත් ලෝකයේ ත්‍රිමාණ නිමැවුම් පිළිබඳව 60 දශකයේදී පුදුමසහගත ලෙස අනාවැකි පලකළ පුද්ගලයා වන්නේ ශ්‍රීමත් ආතර් සී ක්ලාක්ය. ඔහු විසින්  1964 වසරේදී බිබිසී ලෝක සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ජාවක අනාගත ලෝකය ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගන්නා අයුරු පිළිබඳව අනාවැකියක් පළ කළේය. විශේෂයෙන්ම ඔහු එහිදී ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර පිළිබඳව පැවසීම පුදුමසහගතය.එම වකවානුවේ ඔහු පලකළ අදහස ඇතැමුන්ගේ හාස්‍යයට ලක්විය. නමුත් අද වනවිට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ලෝකය තුළ යතාර්ථයක් වී හමාරය.

ඔහු පැවසූ එම අනාගත වාක්‍යයේදී ඔහු තවත් කරුණක් ලෝකයට පවසයි. ඔහු පවසන්නේ ත්‍රිමාණ තාක්ෂණය සමඟ විනාශයත් ලෝකයට පැමිණිය හැකි බවයි. මෙම තාක්ෂණයේ උපරිම අවස්ථාවකදී ඕනෑම අයකුට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් අත්පත්කරගැනීමෙන් තමන්ට අවශ්‍ය ඕනෑම උපාංගයක්  නිර්මාණය කරගැනීමට අවස්ථාව ලදහොත් එය විනාශයකට අත වැනීමක් බවත් ඔහු 1964දී අනාවැකියක් පවසයි.

ඔහුගේ වචනයෙන් එය මෙසේය. ” එවැනි උපාංගයක් නිමවෙන දිනයකදී අපගේ සමාජය කෑදරකමේ සහ ම්ලේච්ජතත්වයේ ගිලෙන්නට ඉඩ තිබේ. මිනිසුන්ට සියල්ල අත්පත් කරගැනීමේ තණ්හාව ඇතිවිය හැකිය”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය එක්තරා අන්දමකින් අනාගතය දැකීමක්දැයි අප තවම දන්නේ නැත. මන්ද අප තවම සිටින්නේ එම තාක්ෂණයේ ආරම්භයේ පමණි.

 

 

Exit mobile version