නැගෙනහිර පළාතේ මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat index) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම උණුසුම් දර්ශකය යනු විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන අතර, එය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් ගණනය කරන ලද සිරුරට සැබවින්ම දැනෙන උණුසුම් තත්ත්වයකි.
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සහයෝගය සහ උපදෙස් මත සකස් කර ඇති මෙම දර්ශකයට අනුව, පවතින තත්ත්වය හමුවේ මහජනතාව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ජනතාව වෙත නිකුත් කර ඇති විශේෂ උපදෙස් මාලාව මෙසේය:
-
වැඩ බිම් තුළ ක්‍රියා කරන අය: ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුය.
-
නිවෙස් තුළ පසුවන්නන්: නිවෙස්වල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
-
වාහන භාවිත කරන්නන්: කිසිදු විටෙක කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයාමට වගබලා ගත යුතුය.
-
එළිමහන් කටයුතු: එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර, සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුය.
-
ඇඳුම් භාවිතය: උණුසුමෙන් බේරීම සඳහා සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම වඩාත් සුදුසුය.
මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මඟින් මේ පිළිබඳව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී ඇත. මේ පිළිබඳ වැඩි විස්තර 011-7446491 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.










