දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය (Heat Index) අද (26) දිනයේදී ‘අතිශය අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලට මෙන්ම අනුරාධපුරය, මන්නාරම, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙම බලපෑම එල්ල විය හැකි බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු අතර අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවද උපදෙස් දී තිබේ.
මේ අතර, පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මහජනතාව අතර මානසික ව්‍යාකූලත්වය හෝ මනෝවිද්‍යාත්මක පීඩනයන් ඇති විය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. අධික රශ්මිය ශරීරයට මෙන්ම මානසික සෞඛ්‍යයට ද සෘජුව බලපෑම් කළ හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.







